Gossips

ජනපතිට සහ අගමැතිට නොතීසි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සාක්ෂි ලබා දීමට අධිකරණය හමුවේ ඔක්තෝම්බර් මස 09 වනදා පෙනී සිටින්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට අද (24) යළි නොතීසි නිකුත් කෙරුණා.
ඒ, මොවුන් අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.
කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි හමුවේ නඩුව කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප් පීරිස් අධිකරණයට දැනුම් දුන්නේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමකට සහභාගි වීමට ඇති බැවින් අධිකරණයේ පෙනී නොසිටින බවයි.
මේ පිළිබඳව අධිකරණ රෙජිස්ටාර්වරයා ද දැනුම්වත් කර ඇති බවද ඔහු දැනුම් දුන්නා.
ඒ අනුව මෙම නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝම්බර් මස 09 වනදා දක්වා කල් තැබූ මහාධිකරණය එදිනට මෙම නඩුවේ පළමු සහ දෙවන සාක්ෂිකරුවන් වන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කළා.
පසුගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එවකට විපක්ෂ නායක වූ රනිල් වික්‍රමසිංහ අතර රහස් ගිවිසුමක් ඇති බවට ප්‍රකාශ කිරීම ඇතුළු චෝදනා 03ක් යටතේ නීතිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.
2014 වසරේ දෙසැම්බර් මස දිනකදී කොළඹ ප්‍රවෘත්ති සාකච්ජාවක් පවත්වමින් තිස්ස අත්තනායක හිටපු මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය සිදුකළේ ගිවිසුමේ පිටපතක් ලෙස හැදින් වූ ලේඛනයක් ද ඉදිරිපත් කරමින්.