Gossips

ජනපතිගේ 67 වන ජන්ම දිනය අදයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ 67 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.
1989 වසරේදී පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නියෝජ්‍ය අමාත්‍ය ධුර සහ කැබිනට් අමාත්‍ය ධුර රැසක් හොබවමින් 2015 ජනවාරි 8 වනදා පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවේ 6 වන විධායක ජනාධිපතිවරයා බවට පත්වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකයාද වන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට ආශිර්වාද කරමින් අද දිනයේ දිවයින පුරා ආගමික උත්සව රැසක්ද සංවිධාන කර තිබෙනවා.
මේ අතර බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවේ සභාපතීත්වයෙන් පිදුම් ලැබූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා.
නේපාලයේ – කත්මණ්ඩු නුවර පැවති බිම්ස්ටෙක් සිව්වන සමුළුවේ සමාප්ති අවස්ථාවේදී එහි සභාපති ධුරය ජනාධිපතිවරයා වෙත පිරිනැමුණා.
නව සභාපති ධුරය භාර ගැනීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා කියා සිටියේ පැහැදිලි න්‍යාය පත්‍රයක් ඔස්සේ සමුළුවේ කටයුතු ඉදිරියට මෙහෙය වන බවයි.
නේපාලයේ නිළ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ සාක් සංවිධානයේ මහලේකම් අම්ජාඞ් හුසේන් බී. සියාල් අතර හමුවක්ද ඊයේ කත්මණ්ඩු නුවර සාක් මහලේකම් කාර්යාලයේදී සිදුවුණා.