Gossips

ජනපතිගේ ලිපියට කතානායකගෙන් පිළිතුරු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සියල්ල නොසලකා හැර කතානායකවරයා කටයුතු කර ඇති බවට සඳහන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිකුත් කළ නිවේදනයට කතානායක කරූ ජයසූරිය පිළිතුරු ලිපියක් යොමුකර තිබෙනවා.
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් නොසලකා හරිමින් කටයුතු කර ඇති බව ජනාධිපතිවරයා ඊයේ රාත්‍රියේ කතානායකවරයා වෙත යැවූ ලිපියේ සඳහන් වුණා.
ඊට අදාළව ලිපියක් යොමුකරමින් කතානායකවරයා සඳහන් කර ඇත්තේ ඊයේ දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු පැමිණ අනුමත කරන ලද යෝජනාව අභියෝගයට ලක් කර ඇති බව ජනාධිපතිවරයාගේ ලිපියෙන් පෙන්වා දෙන බවයි.
එම මන්ත්‍රීවරුන් 122 අතර එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂවල මෙන්ම, නව රජයේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු ද ඇතුළත් බව අදාළ ලිපියේ සදහන්.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයා නිකුත් කළ ලිපියෙහි සදහන් ව්‍යවස්ථාමය හා අනෙකුත් කරුණු පැහැදිලි කරමින් නීතිවිශාරදයින්ගේ උපදෙස් සහිතව පිළිතුරු එවීමට තමන් අපේක්ෂා කරන බව ද කතානායක කරූ ජයසූරිය සදහන් කර තිබෙනවා.