Gossips

ජනපතිගේ අවුරුදු පණිවුඩය

සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද මගින් සම්ප්‍රේෂණය වනුයේ පෙරදිග වාසීන් වන අප සතු උදාරත්වයේ විශිෂ්ඨත්වය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.
සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් මහ නාහිමිවරුන් සුබපැතුම් එක් කර තිබෙනවා.
මේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන හිමියන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ අලූත් අවුරුද්ද සැමරීම සඳහා සියලූදෙනා එක්ව කටයුතු කළ යුතු බවයි.
මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන් සහ රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් එක් කර තිබුණා.
මේ අතර සාරධර්මයන් යාවත්කාලීන කරමින් සිංහල දෙමළ අලූත් අවුරුද්ද සමරන එතෙර මෙතෙර සමස්ත ශ්‍රී ලාංකිකයන්ට සාමය සෞභාග්‍ය සපිරි ඉසුරුමත් අලූත් අවුරුද්දක් වේවායි ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන සුභාශිංසන එක් කරනවා.
අලූත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද මගින් සම්ප්‍රේෂණය වනුයේ පෙරදිග වාසීන් වන අප සතු උදාරත්වයේ විශිෂ්ඨත්වය බවයි.
අනෝන්‍ය බැඳීම සහ සමාජීය සබඳතා එරබදු කැකුළු සේ විකසිත කරනු ලබන චිරාගත සිරිත් විරිත් සමඟ බැඳුණු අලූත් අවුරුද්ද මිනිස් සිතුවිලි පරාසය, පරමාදර්ශී සුවඳින් දෝවනය කරමින් අනාගතයට ගලායන ආකාරයට ගෞරවනීය ලෙස පිළිගත යුතු බවයි ජනාධිපතිවරයා නිකුත් කළ සුබපැතුම් පණිවුඩයේ තවදුරටත් දැක්වෙන්නේ.
එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද සුබපැතුම් පණිවුඩයක් එක් කරමින් සඳහන් කළේ සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීම උදෙසා සාමය, සංහිඳියාව, සහජීවනය වෙනුවෙන් කැපවී කටයුතු කරන පී‍්‍රතිමත් සුබ අලූත් අවුරුද්දක් වේවා යන්නයි.
චිරාත් කාලයක සිට දේශීය ජන ජීවිතය හා ඒකාත්මිකව පැවතෙන අලූත් අවුරුදු සිරිත් විරිත් සඳහා අර්ථවත්ව සහභාගිවීමෙන් එම සංස්කෘතික උරුමය අපගේ පරපුරට තිළිණ කිරීම සඳහා මෙම අවුරුද්ද අවස්ථාවක් කරගත යුතු බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ පණිවුඩයේ දැක්වෙනවා.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා ඇති සියලූ බාධක සහ අභියෝග ජයගෙන ජනතාවට ආත්ම අභිමානයෙන් මෙන්ම ගෞරවයෙන් යුතුව ජීවත්වීමේ අයිතිය ලබාදීමට හැකිවේවායි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් අලූත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් නිවේදනයක නිකුත් කරමින් සඳහන් කළා.
අලූත් අවුරුද්ද එකමුතුව සමරණ ලෙසත් අපගේ ජනතාව අතර, සැබෑ සාමයත්, අවබෝධයත් වාර්ගික සමගියත් හා සංහිඳියාවත් ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කරන ලෙසත් සියලූ ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි විපක්ෂ නායකවරයා නිකුත් කළ පණිවුඩයේ තවදුරටත් දැක්වෙන්නේ.
ජනතා විමුක්ති පෙරමුණද සුබ පැතුම් පණිවුඩයක් එක් කරමින් කියා සිටියේ පුළුල් සමාජ ආර්ථික දේශපාලනික වෙනසක් වෙනුවෙන් ක්‍රියාත්මක වීමට සිය අධිෂ්ඨානය කුළුගන්වා ගන්නා අවස්ථාවක් බවට මෙවර සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද පත් කරගන්නා ලෙසටයි.
එමෙන්ම වසර 70 ක් පුරාවට ශ්‍රී ලංකාවේ පැවති ආණ්ඩු කිසිවක් බහුතර ජනතාවට සිය ජීවිත සැබෑ ලෙසම අලූත් කරගැනීමට අවස්ථාවක් ලබාදී නොමැති බවද ඔවුන් නිකුත් කළ පණිවුඩයේ තවදුරටත් සඳහන්.
මේ අතර සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ද සුබපැතුම් එක් කර තිබෙනවා.
යහපාලනය, ආර්ථික ස්ථාවරත්වය සහ සංහිඳියාව තුළින් යන ගමනේදී ඇමරිකාව, ශ්‍රී ලංකාව සමග තවදුරටත් කටයුතු කරන බවයි ට්‍රම්ප් ප්‍රකාශ කළේ. උදාවන අලූත් අවුරුද්දේදීද දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කරන බවද ඇමරිකානු ජනාධිපතිවරයා පවසනවා.