Gossips

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

පසුගිය දින කිහිපය තුල රටේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ජාතීන් අතර අසමගිය ඇතිවන ප්‍රචණ්ඩකාරී ගැටුම් සම්පුර්ණයෙන් හෙළාදකින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා කියාසිටියේ මෙම සිදුවීම් තුළ ජීවිත හානි දේපළ හානි වූ සියලුම පවුල්වලටත් ඥාතීන්ටත් තම කණගාටුව සහ වේදනාව ප්‍රකාශ කරන බවයි.
මෙවැනි සිදුවීම්වලට මුල් වූ කුමන හෝ පාර්ශවයක පුද්ගලයින්, සංවිධාන කණ්ඩායම් සියල්ලට විරුද්ධව දැඩිව නීතිමය පියවර ගත යුතු බවට පොලිසියට උපදෙස් දී ඇති බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.
එමෙන්ම ඇතිවී තිබෙන තත්වයන් සමනය කරවීමටත් එම ප්‍රදේශවල සමගිය ඇති කරමින් සියලුදෙනාට සාමකාමීව සතුටින් ජීවත්විය හැකි වන පරිසරයක් ගොඩනැගීමට ආරක්ෂක අංශවලට මෙන්ම දේශපාලනඥයන්ට ද උපදෙස් දී ඇතැයි මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කලා.
සමාජ වෙබ් අඩවි තුලින්, කට කතා තුලින්, දුරකථන ඇමතුම් තුලින් නොයෙකුත් අසත්‍ය ප්‍රචාර ගෙන යමින් ජනතාව නොසන්සුන් කර සාමය කඩ කිරීමට ක්‍රියාකරන ඇතැම් පිරිස් සිටින බවට පෙනී ගොස් ඇති අතර එවැනි පුද්ගලයන් පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.