Gossips

ජනපතිගෙන් පොලිස්පතිට රතු එළියක්

රට තුල තහවුරු වූ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සීමාවෙන් එහා ගොස් භුක්ති විඳීමට ඇතමුන් කටයුතු කිරීම හේතුවෙන් සමාජයට නොගැලපෙන බොහෝ ක්‍රියාකාරකම් අත්විඳීමට සිදුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
පරිගණක සහ ජංගම දුරකථන අපරාධ පිළිබඳ වර්තමාන වාර්තා ඉතා කණගාටුදායක වන අතර එම බරපතල තත්වය පිළිබඳ අදාළ සෑම අංශයක් විසින්ම තීන්දු තීරණ ගත යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
වත්තල නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළකළා.
පාතාල අපරාධකරුවන් හිස එසවීමට පටන්ගෙන ඇති බවට රජයට එල්ලවන චෝදනා පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා.
ඔහු එහිදී අවධාරණය කළේ ඒ පිළිබඳ ප්‍රමුඛ වගකීම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයට මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවට පැවරෙන බවයි.
ඒ සම්බන්ධයෙන් එම අංශවල දැඩි අවධානය යොමුවිය යුතු අතර එසේ නොමැති නම් ඊට අදාළ තීන්දු තීරණ ගැනීමට සුදානම් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කලා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියාසිටියේ අධිකරණ ක්ෂේත්‍රයේ කිසිවෙකු දේශපාලනඥයන් පසුපස යන පසුබිමක් රට තුළ නිර්මාණය නොවිය යුතු බවයි.
එවැනි පසුබිමක් නිර්මාණය වීම නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමේ ප්‍රතිපත්තිය තුළ කිසිසේත් සුදුසු නොවන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
අධිකරණ ක්ෂේත්‍රයේ පමණක් නොව සියලු ක්ෂේත්‍රවල කටයුතු කරන පිරිස් වෙත තෘප්තිමත් මනසකින් සහ නිදහස් පරිසරයක් තුල තම රාජකාරී කටයුතු කරගෙන යාමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම රජයේ වගකීම බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.
විනිසුරුවරුන්ගේ උසස්වීම් සහ ස්ථාන මාරුවීම් ඇතුලු දුක්ගැනවිලි සහ ප්‍රශ්ණ ඉදිරිපත් කිරීමට විශේෂ ඒකකයක් පිහිටුවීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නා.
ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ සහ මහාධිකරණය නියෝජනය කරන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් ඒ සඳහා පත්කර එම ඒකකය පවත්වාගෙන යාමටයි ජනාධිපතිවරයා යෝජනා කළේ.
සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා පළ කළේ මෙවන් අදහසක්.
‘‘දැන් පහුගිය දිනවල මහනුවර ඇතිවෙච්ච තත්ත්වයේදී මම සියලූ දෙනාගේ විරෝධය නොසලකා සමාජ වෙබ් අඩවි වහලා දැම්මා. මම තනි තීන්දුවක් ගත්තේ. ඊට පස්සේ රටේ මහජනතාවගෙන් ඉතාම හොඳ ප්‍රතිචාරයක් මට ලැබුණා. මට දෙමව්පියෝ ලියුම් එව්වා, සමහර අය ටෙලිෆෝන් කරලා මට කිව්වා, ජනාධිපතිතුමා පුළුවන් නම් ඕක හැමදාම ඔය තහනම තියාගන්න කියලා. අපේ ලමයි හදාගන්න බෑ, පාඩම් කරන්නේ නෑ, සෙල්ලම් කරන්න යන්නේ නෑ, ගෙයි ඇතුලේ කාමරයට වැදුනහම ඉන්නවද නැද්ද කියලා හොයන්න බෑ. අද විශාල තරුණ ළමයි සංඛ්‍යාවක් මේ රටේ දහස් ගාණක් මානසික රෝගීන් වෙලා ඉන්නවා. මම තමයි රටේ වැඩිපුරම සමාජ වෙබ් අඩවිවලින් බරපතල නින්දා අපහසාවලට, චරිත ඝාතනවලට ලක් කරන කෙනා මාව. ඒ දීලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහසත් එක්ක. මට කලින් හිටපු අය නම් ඕවා දැක්කා නම් ඒ ගොල්ලන්ට ගැහුවා නම් දවසක් දෙකක්, එයාට ඊට පස්සේ එයාව හොයාගන්නත් නෑ. මේවා අද හුගක් අයට අමතක වෙලා. මං ඒ සමාජ වෙබ් අඩවි අන්තර්ජාතික සංවිධානයටත් ඒ වගකීම් තියෙන අපි ගෙනල්ලා, ඒ අයටත් පැහැදිලි කරා, ලංකාවේ මේ සිදුවන තත්ත්වයන් ඔයගොල්ලන් පාලනය කරන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා කවුරු විරෝධය දැක්වූවත්, ඇතැම් රටවල් රාශියක තහනම් කරලා තියෙන ආකාරයට තහනම් කරන්න. මේ ගැන නොයෙක් චෝදනා මට එයි, හෙට ලියයි නොයෙක් දේවල්. නමුත් යහපත් දේ ලියන්න කියන්න කිසිම අවහිරයක් නෑ.’’
අපරාධකරුවන් සහ පාතාලය මෙල්ල කිරීමට නීතිය හා සාමය අමාත්‍යාංශය සහ පොලිසිය කටයුතු නොකරන්නේ නම්, එය සිදුකළ හැකි අයෙකු පත් කිරීමට තමන් සූදානම් බවද මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
‘‘දැන් පහුගිය දිනවල අපිට හුගක් චෝදනා එල්ල වුණා, පාතාල අපරාධකරුවන්ට අපිත් දැන් ඔලූව උස්සන්න දීලයි කියලා. මේ ගැන අපි බොහොම අපක්ෂපාතීව හිතන්න ඕනි. ඒ චෝදනාව සාධාරණ චෝදනාවක් කියලා මම පිළිගන්නවා. අපරාධකරුවන් මෙල්ල කරන්න නීතිය හා සාමය අමාත්‍යාංශය හා පොලිසියයි ප්‍රධාන වෙන්නේ. බොහෝ වෙලාවට පුදුමයි මේ ප්‍රසිද්ධ අපරාධකරුවන් අපරාධ සිද්ධ කරලා, ඔන්න කියනවා එයා රටින් පිටවෙලා කියලා. ඒ අයගේ තොරතුරු තියෙනවා. ඒවා ගුවන් තොටුපලේ පරිගණකවලට ඇතුළත් කරලා නැද්ද. නමුත් ඕනම සිදුවීමක් වුණහම කියන්නේ එයා රටින් පැනලා ගිහිං කියලා. මම ගිය සතියෙත් පොලිස්පතිතුමාට ටිකක් තදින් මේ ගැන කතා කරා. නීතිය හා සාමය අමාත්‍යාංශයත්, පොලිසියත් මේකේ සම්පූර්ණ වගකීම ගන්න ඕන. මේකට දේශපාලන බලපෑම් එනවා නම් ඒක කියන්න ඕනි. තවදුරටත් රජයට පෙනී යනවා නම් ඒ ක්‍රියාකාරීත්වය මදි කියලා, එහෙම නම් අපිට සිද්ධ වෙන්නේ ඒ වැඬේ කරන්න පුලූවන් කෙනෙකුට දෙන එකයි.’’