Gossips

ජනපතිගෙන් පොලිස්පතිට, දෝස් මුරයක් – පළාත් සභා ඡන්දය නිසා කැබිනට් රැස්වීම උණුසුම්

පොලිස්පතිවරයාගේ සිට පොලිස් දෙපාර්තමේන්තුවම කඩිනමින් ප්‍රතිසංවිධානය කළ යුතුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (02) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු කියා සිටියේ පොලිස්පතිවරයාගේ ක්‍රියා කලාපය විවේචනය කර ඇති ජනාධිපතිවරයා, ඔහුගේ නොමනා හැසිරීම නිසා වැඩියෙන්ම බැනුම් ඇසීමට සිදුව ඇත්තේ තමාට සහ අගමැතිවරයාට බව ප්‍රකාශ කර ඇති බවයි.
පොලීසියේ ඇතැමුන්ගේ විනයත්, හික්මීමත් පිරිහී ඇතැයි පවසා ඇති ජනාධිපතිවරයා එය වහා නිවැරදි කළ යුතු බවයි ප්‍රකාශ කර ඇත්තේ.
අපරාධ අඩු වී ඇති බවට ඇතැමුන් කරන ප්‍රකාශ පිළිගත නොහැකි බව ද ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සඳහන් කර තිබෙනවා.
මේ අතර, පළාත් සභා මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන් ද ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍යවරුන් අතර උණුසුම් සංවාදයක් ඇති වූ බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ පළාත් සභා සීමානිර්ණ කමිටුව අධ්‍යයනය කර නිර්දේශ කිරීම සඳහා පත් කළ කමිටුව පසුගිය දා රැස්වී මැතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම කැබිනට් මණ්ඩලයට පැවරූ බවයි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය කොට්ඨාශ ක්‍රමයට මැතිවරණය පැවැත්විය යුතුය යන්නයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන්නේ ද, කොට්ඨාශ ක්‍රමයට මැතිවරණ පැවැත්වීමේ එකඟතාව අනුව බවයි ඔහු මෙහිදී සදහන් කර ඇත්තේ.
අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ද අදහස් දක්වමින් කියා සිටියේ නැවත පැරණි ක්‍රමයක් ගැන කතා කළ නොහැකි බවයි.
නිදහස් පක්ෂයේ ස්ථාවරය කොට්ඨාශ ක්‍රමයට මැතිවරණය පැවැත්විය යුතු බව ද ඔහු සදහන් කළා.
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු අදහස් දැක්වීමෙන් පසුව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම කරුණ සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී පමණක් සාකච්ඡා කළ නොහැකි බවයි.
වහාම දේශපාලන පක්ෂ සියල්ල කැදවා මේ පිළිබදව කඩිනම් සාකච්ඡාවක් කළ යුතු බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සියළු දේශපාලන පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් යුත් සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.