Gossips

ජනතා විරෝධයෙන් ඉපලෝගම ස්ථානාධිපතිට මාරුවක් (ඡායාරූප)

ජනතා විරෝධය හේතුවෙන් කැකිරාව – ඉපලෝගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ඊයේ රාත්‍රියේ හදිසි ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.
ඒ අනුව එම පොලිස් ස්ථානය සඳහා වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයෙකු පත් කර ඇති බවයි වාර්තාවන්නේ.
ඉපලෝගම පොලිස් ස්ථානාධිපතිවරයා මාධ්‍යයට ලබාදුන් ප්‍රකාශයක් මගින් ඉපලෝගම – රණජයපුර රණවිරු ගම්මානයේ පදිංචිකරුවන්ට අවමානයක් සිදුවූ බව පවසමින් එම ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරතවුණා.
ඊයේ රණජයපුර රණවිරු ගම්මානයේ පදිංචිකරුවන් පිරිසක් දැක්වූ විරෝධතාව හේතුවෙන් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත් බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
පසුව මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා එම ස්ථානයට අනුරාධපුර කොට්ඨාශය භාර පොලිස් අධිකාරීවරයා ඇතුලූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් පැමිණ තිබෙනවා.
එහිදී විරෝධතාකරුවන් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ තම විරෝධතාව නැවැත්වීමට නම් ඉපලෝගම ස්ථානාධිපතිවරයා වහාම ඉවත් කළ යුතු බවයි.
ඒ අනුව පොලිස්පතිවරයා දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඊයේ රාත්‍රියේදීම ඉපලෝගම පොලිස් ස්ථානාධිපතිවරයා අනුරාධපුර කොට්ඨාශයට මාරුකර යවා ඇති බව සඳහන්.
එමෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි එම පොලිස් ස්ථානයට වැඩබලන ස්ථානාධිපතිවරයෙකුද ඊයේ රාත්‍රියේදීම පත්කර තිබෙනවා.

ඡායාරූප – කැකිරාව කුෂාන් ජයවර්ධන