Gossips

ජනතාවට ආණ්ඩුවේ බදුබර දැරීමට ශක්තියක් නැහැ – විපක්ෂනායක

අඩු ආර්ථික වර්ධන වේගය හේතුවෙන් රටේ ජනතාවට වත්මන් ආණ්ඩුවෙන් පනවන බදු බර දැරීමට ශක්තියක් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ මේ වසරේදී වත්මන් ආණ්ඩුව රුපියල් බිලියන 2077 ක සමස්ත බදු ආදායමක් ජනතාවගෙන් අය කරගැනීමට බලාපොරොත්තු වන බවයි.
එය 2014 වසරේදී දී එකතු කළ බදු ආදායම මෙන් දෙගුණයක් බවයි විපක්ෂනායකවරයා පවසන්නේ.
එමෙන්ම රජයේ සමස්ත ණය බර 2014 වසර අවසානයේදී රුපියල් බිලියන 7391 ක් වූ අතර, එය 2018 වනවිට රුපියල් බිලියන 11,859 ක් ඉක්මවා සියයට 62 කින් වැඩිවී ඇති බවද විපක්ෂ නායකවරයා පවසනවා.
මේ අයුරින් ආණ්ඩුවේ ණය බර වැඩිවූයේ යහපාලන ආණ්ඩුවට ඡන්දය ලබාගැනීම සඳහා ජනතාව පොළඹවා ගැනීමට ගිය වියදම් පියවා ගැනීමට මහ පරිමාණයෙන් ණය ලබාගැනීම බවද ඔහු නිකුත් කළ නිවේදනයේ සඳහන්.
වත්මන් ආණ්ඩුව ජනතාවට දෙන සහන අනෙක් පසින් ඉතා ඉක්මනින් ඩැහැගන්නා බවද එහි තවදුරටත් දැක්වෙනවා.
මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විජේරාමේ පිහිටි නිල නිවසේදී ඊයේ කොළඹ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ නියෝජිතයින් හමුවුණා.
එහිදී ඔහු කියා සිටියේ ජනතාවගේ අතට මුදල් නොලැබෙන්නේ නම් ව්‍යාපාරිකයින්ට ව්‍යාපාර පවත්වාගෙන යා නොහැකි බවයි.