Gossips

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය, ලංකාවට යළි හයිබ්‍රිඩ් අධිකරණයක් ඉල්ලයි

ජිනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 40 වන සැසි වාරය වෙත මහකොමසාරිස්වරිය වන මිෂෙල් බැචෙලෙට් ඉදිරිපත් කරන ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවේ දළ පිටපතක් ඊයේ සාමාජික රටවල නියෝජිතයන් වෙත ලබාදී තිබෙනවා.
එමගින් ඇය සදහන් කර ඇත්තේ ජගත් මානව හිම්කම් මණ්ඩලය වෙත ශ්‍රී ලංකාව පොරොන්දු වූ කරුණු රැසක් ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් සාමාජික රටවල අවධානය යොමු කරන බව ද ඇය සදහන් කර තිබෙනවා.
2015 වසරේ ජගත් මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් වූ 30/1 දරණ යෝජනාවට ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දක්වනු ලැබුවා.
කෙසේ නමුත්, ඒ වෙනුවට නව යෝජනාවක් සඳහා අනුග්‍රාහකත්වය දැක්වීමට ශ්‍රී ලංකාව සූදානම් බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
එමෙන්ම මෙරටට තම කටයුතු ස්වාධීනව කරගෙන යාමට ඉඩ කඩ ලබාදෙන ලෙස අවධාරණය කිරීම සඳහා තම නියෝජිතයන් 3 දෙනෙකු ජිනිවා වෙත යවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
කෙසේ නමුත්, ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය කියා සිටින්නේ දණ්ඩනය, බලහත්කාර අතුරුදන් කිරීම්, යුද අපරාධ හෝ මානුෂිකත්වයට එරෙහි අපරාධ පරීක්ෂා කිරීම අධීක්ෂණය සහ විභාග කිරීම සඳහා ශ්‍රී ලංකාව නිසි යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවයි.
වගවීම, යුක්තිය සහ සංහිදියාව උදෙසා එවැනි ක්‍රියාමාර්ග අවශ්‍ය බව ඇය සඳහන් කළා.
ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංගණය කිරීමේ චෝදනා විභාග කිරීම සඳහා හයිබ්‍රිඞ් අධිකරණයක් ස්ථාපිත කළ යුතු බවට මානව හිමිකම් කොමසාරිස්වරිය යළි යෝජනා කර තිබෙනවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කිරීමේ පනත් කෙටුම්පත මානව හිමිකම් කොමිසමේ උපදෙස් සහිතව ජාත්‍යන්තර භාවිතයන්ට අනුකූලව සිදුකරන ලෙසයි ඇය සදහන් කර ඇත්තේ.
මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබඳ නිරන්තර අධීක්ෂණය සඳහා ජගත් මානව හිමිකම් මහකොමසාරිස්ගේ දේශීය කාර්යාලයක් ස්ථාපිත කරන ලෙස ද ඇය ඉල්ලා සිටිනවා.
ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව පිළිබද වාර්තාව ලබන 20 වන දා ජිනිවා මානව හිමිකම් මණ්ඩලය වෙත නිළ වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිතයි.