Gossips

ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ඩයස් පෝරාව සහ ගෝලීය ශ්‍රී ලංකා සංසදය ගැටේ

යුද්ධය අවසන් වී වසර 09 කට පසුව ශ්‍රී ලංකා රජය අතුරුදන්වූවන් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වී ඇති බවට දෙමළ ඩයස්පෝරාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී චෝදනා කළා.
ඒ 37 වන ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී අදහස් දක්වමින්.
37 වන ජගත් මානව හිමිකම් සැසිවාරය පසුගිය පෙබරවාරි 26 වැනිදා ආරම්භ වූ අතර, එය ලබන 23 වැනිදා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙනවා.
ඊයේ දිනයේදී රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සංවිධානවලට සිය අදහස් දැක්වීමේ අවස්ථාව උදාවුණා.
එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වු පසුමෙයි න්‍යායගම් පදනමේ නියෝජිත ආනන්දී ලීලාදේවී දැක්වුයේ මෙවන් අදහසක්.
‘‘ යුද්ධය අවසන් වී වසර 9 කට පසු හා අප විරෝධතාවයේ නිරත වී වසරකට පසු හෝ ශ්‍රී ලංකානු රජය අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට හෝ පිළිතුරක් ලබාදීමට අපොහොසත් වී තිබෙනවා. අප මහා මාර්ගයේ ඉඳගෙන විරෝධතාවයේ නිරතවෙනවා එක් අරමුණක් කරා. ඒ තමයි අතුරුදන්වූවන් වෙනුවෙන් අපිට සත්‍ය හා සාධාරණත්වය ඉල්ලලා. අප ඔබෙන් හා කවුන්සිලයේ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකාවට බලපෑම් කරන්න කියලා, අපගේ ඉල්ලීම්වලට පිළිතුරු ලබාදෙන ලෙසත් යුද හා පශ්චාත් යුද සමයේ භාරවුණු මෙන්ම රඳවා තබාගෙන සිටි පුද්ගලයින්ගේ හා රඳවා තබාගන්නා රහසිගත කඳවුරු පිළිබඳව ලේඛන මුදාහරින ලෙස. මේ සඳහා ජනාධිපතිවරයා එකඟතාවය පල කළා 2017 ජුනි මාසයේ. නමුත්, එය ඉටු කළේ නැහැ. කරුණාකරලා අපිට අපේ ළමයි සොයා ගැනීමට උදව් කරන්න ’’
කෙසේ වෙතත්, ඊට එක්වු ස්විට්සර්ලන්තයේ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නියෝජිතයින් එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළා.
එහි සම සභාපති රොෂාන් වීරපුර ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී මෙලෙස අදහස් දැක්වුවා.
‘‘ශ්‍රී ලංකා යුද හමුදාව LTTE ත්‍රස්තවාදීන් පරාජයට පත් කර සියලු ජනතාවගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කළා. ත්‍රස්තවාදීන් මානව හිමිකම් කඩ කළේ සිංහල ජනතාවගේ පමණක් නෙවෙයි. මුස්ලිම් හා දෙමළ ජනතාවගේ පවා මානව අයිතිවාසිකම් කඩ කළා. යුද්ධයෙන් පසු අවතැන්වූවන් නැවත පදිංචි කළා. බිම්බෝම්බ ඉවත් කළා. උතුර දියුණු කළා. විශේෂයෙන් 7‍% ක්ව පැවති උතුරු සංවර්ධන වේගය 22% දක්වා ඉහළ දැමුවා. තිස් වසරකට පසු පළාත් පාලන මැතිවරණය උතුරේ පැවැත්වුණා. එලෙසයි අපි එහි වෙසෙන දෙමළ ජනතාවගේ දේශපාලන, සිවිල්, ආර්ථික අයිතිවාසිකම් ආරක්ෂා කළේ. නමුත් ඔබලා අපිට මොකක්ද කළේ. යෝජනාවක් සම්මත කරගත්තා අපි යුද අපරාධ හා සමූල ඝාතනයන් සිදුකළා කියලා, ඡන්ද විමසීමක් හෝ සාකච්ඡාවකින් තොරව. අපේ රණවිරුවන් ත්‍රස්තවාදීන් පරාජයට පත් කළේ ඔවුන් මිනිස් පලිහක් ලෙස සාමාන්‍ය දෙමළ වැසියන් තබාගෙන සිටියදීයි. මේ තමයි ලෝකයේ විශාලතම මිනිස් ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුම. අප කවුන්සිලයෙන් ඉල්ලා සිටිනවා පරස්පර විරෝධී බොරු චෝදනා සහිත වාර්තාව පිළිබඳව විග්‍රහයක් සිදුකරන්න කියලා. එමෙන්ම අපි ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකාව වැනි රටවල් ඉලක්ක කරගෙන ඔවුන්ගේ දේශපාලන මතිමතාන්තර ඉටුකර ගැනීම සඳහා මානව අයිතිවාසිකම් භාවිත කිරීම වළක්වන්න පියවර ගන්න කියලා ’’