Gossips

ජගත් පරිසර සමුළුවෙන් පසු ජනපති දිවයිනට

ජගත් පරිසර සමුළුවට සහභාගිවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද උදෑසන 7.55 ට යළි දිවයිනට පැමිණියා.
පරිසරය සුරක්ෂිත කිරීම වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ ගත් රාජ්‍ය නායකයෙකු ලෙස මෙවර ජගත් පරිසර සමුළුවට ආරාධනා ලැබූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කෙන්යාව බලා පිටත්ව ගියේ පසුගිය 13 වනදායි.
එදින රාත්‍රියේ ජනාධිපතිවරයා කෙන්යාවේ නයිරෝබි නුවරට ළඟාවු අතර, එරට විශේෂ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිසක් විසින් පිළිගනු ලැබුවා.
පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම් යන තේමාව යටතේ මෙවර පැවති ජගත් පරිසර සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නව යෝජනා 4 ක් ඉදිරිපත් කරනු ලැබුවා.
කඩොලාන තිරසර ලෙස කළමනාකරණය, ආහාර නාස්තිය සහ අපතේ යාම කළමනාකරණය, සමුද්‍රික කසළ සහ ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් කළමනාකරණය සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය යන ක්‍ෂේත්‍ර යටතේ එම යෝජනා ඉදිරිපත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ජගත් පරිසර සමුළුව අතරතුරදී කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා හමුවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කෘෂිකර්ම ක්‍ෂේත්‍රය ඇතුලු විවිධ ක්‍ෂේත්‍රවල කටයුතුවලදී දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට එකඟතාවට පැමිණියා.
කෙන්යාවේ විවිධ ක්‍ෂේත්‍රවල රැකියාවල සහ ව්‍යාපාරික කටයුතුවල නිරතවන ශ්‍රී ලාංකිකයන් ද මුණගැසුනු ජනාධිපතිවරයා ඔවුන්ගේ ගැටළු පිළිබඳවද සොයාබැලූ බවයි සඳහන් වුණේ.
මෙම සංචාරයේදී නයිරෝබි නුවර බෞද්ධ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයාට එහි විහාරාධිපති පූජ්‍ය යටිරාවන විමල හිමියන් විසින් ආශිර්වාද කරනු ලැබුවා.