Gossips

ජගත් පරිසර සමුළුවට ජනපතිගෙන් නව යෝජනා හතරක්

සුරක්ෂිත පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය සහතික කිරීම සහ තිරසර ගෝලීය ආර්ථික දර්ශක මත පදනම් වූ පරිසර හිතකාමී ආර්ථික ප්‍රවණතා හඳුන්වාදීම වර්තමානයේ සියළුදෙනාගේ ප්‍රධාන වගකීමක් වී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසි වාරය අමතමින්.
"පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම්" යන්න මෙවර සමුළුවේ තේමාවයි.
සමුලුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් සඳහන් කළේ බෞද්ධයකු වන තමන් මානව වර්ගයාගේ පෝෂණය සුරක්ෂිත කිරිමට පමණක් නොව, සමස්තයක් වශයෙන් ලොව සෑම ජීවියෙකුගේම පැවැත්ම තහවුරු කිරීම සඳහා බැදී සිටින බවයි.
සොබාදහමින් මෙන්ම සංස්කෘතික උරුමයන්ගෙන් ද පොහොසත් රටක් වන ශ්‍රී ලංකාව රටේ සමාජ ආර්ථික සංවර්ධනය නංවාලීම සඳහා සොබාදහම සහ සොබාදහමට නෑකම් කියන තිරසර ව්‍යාපාර සඳහා ප්‍රාග්ධනය යෙදවීමට කැමැත්තෙන් සිටින අතර මෙවැනි තත්ත්වයක් තුළ එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිය ශක්තිමත් පදනමක් සහ මෙවලමක් ලබාදෙන බව ද සඳහන් කළා.
දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම සඳහා පෙර නොවූ විරූ ආකාරයේ ගෝලීය කැපවීමක් පෙන්නුම් කරන පැරිස් ගිවිසුමට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති අතර, 2019 ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයෙහි අප රට දෙවන ස්ථානයට වැඩිම අවදානමක් පවතින රට වශයෙන් නම් කිරීම හේතුවෙන් දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකාව දැඩිව කැපව සිටින බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දුන්නා.
ඔහු මෙහිදී කියාසිටියේ ගෝලීය පරිසර ගැටළු සඳහා දරිද්‍රතාවය සුවිශේෂි හේතුවක් බවයි.
පාරිසරික පරිහානිය සහ දරිද්‍රතාවය අතර එකිනෙකට සමීප සම්බන්ධතාවයක් පවතින අතර එය විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර වෙන් කළ නොහැකි සම්බන්ධතාවයක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
මේ අතර ශ්‍රී ලංකාවේ සම අනුග්‍රාහකත්වයෙන් යෝජනා හතරක් එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසි වාරය සඳහා ඉදිරිපත් කිරීම ද සිදු කෙරුනා.
කඩොලාන තිරසර ලෙස කළමනාකරණය, ආහාර නාස්තිය සහ අපතේයාම කළමනාකරණය, සමුද්‍රික කසළ සහ ක්ෂුද්‍ර ප්ලාස්ටික් කළමනාකරණය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය යන ක්ෂේත්‍ර යටතේ එම යෝජනා ඉදිරිපත් කෙරුනු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
මේ අතර ශ්‍රී ලංකාව විසින් ගංගා වේලි පද්ධතියේ සහ වෙරළබඩ කළමනාකරණය පිළිබද මනා ප්‍රවේශයක් ගැනීමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී ප්‍රකාශ කළ අතර ඉන් අපේක්ෂා කරන්නේ සාගරය සහ වෙරළ සම්පත් එනම් ප්ලාස්ටික් සහ රසායන ද්‍රව්‍ය මගින් කෙරෙන සාගර දූෂණය වළක්වාලීම බව ද සදහන් කළා.
කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටාගේ ආරාධනයකට අනුව විශේෂ ආරාධිතයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම සමුළුවට එක්ව සිටිනවා.
සමුළුවට රටවල් 58 ක පරිසර අමාත්‍යවරුන් සහ නියෝජිතයන් පන්දහසකට අධික පිරිසක් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.