Gossips

ජංගම දුරකථනවලට අමුතු ඇමතුමක්

නවීන තාක්ෂණය අද ලොව පුරා ජනතාවට අතිශය සමීප කරවූ ප්‍රධානතම මෙවලම ජංගම දුරකථනයයි.
දුරකථනයට ලැබෙන ඇමතුම් පිළිබඳව සැක සංකා මතුකරගන්නේ ඒවා භාවිත කරන්නන්ගෙන් දශමයකටත් අඩු සංඛ්‍යාවක්.
එහෙත් ජංගම දුරකථනයට ලැබෙන ඇමතුම් ඇතැම් විට විශ්වාස කළ නොහැකි තත්ත්වයක් දැන් මතුවනවා.
එහිදී සිදුවන්නේ ඔබගේ ජංගම දුරකථන අංකයෙන් බව දක්වමින් වෙනත් අයෙකුට ඇමතුම් ලබාගැනීමට හැකියාවක් පැවතීමයි.
දැනට අන්තර්ජාලයේ නීතිවිරෝධී ලෙස සකස් කර ඇති මෘදුකාංග යෙදවුමක් හරහා මෙය ක්‍රියාත්මක වනවා.
එම යෙදවුම් මගින් කටහඬ මෙන්ම පසුබිම් හඬද වෙනස් කළ හැකියි.
සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක් වන චින්තන අමරසිංහ පසුගිය දිනෙක මෙම තාක්ෂණයේ වින්දිතයෙක් බවට පත් වුණා.
තමන්ට සිදූ ව ඇති අගතිය පිළිබඳ චින්තන මේ වන විටත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පැමිණිලි කර තිබෙනවා.
කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවයි.
මේ ආකාරයට ඔබට ලැබෙන දුරකතන ඇමතුමක් පිලිබඳ හෝ ඔබේ දුරකතන අංකය අවභාවිත වන බවට සැකයක් මතු වන්නේ නම් ගත යුතු වඩා වැදගත්ම පියවර වන්නේ ඒ පිළිබඳ පොලිසියට හෝ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමයි.
මෙවැනි මෘදුකාංග යෙදවුම් පිළිබඳවද අප පරිගණක තාක්ෂණ විශේෂඥයන්ගෙන් විමසීමක් කළා.
ඔවුන් කියා සිටියේ අන්තර්ජාලය තුළ මෙවැනි මෘදුකාංග රැසක් පවතින බවයි.
ඒවා භාවිත කිරිම නීතිවිරෝධී බවත් ඔවුන් ප්‍රකාශ කළා.