Gossips

ඡන්ද පත්‍රිකා සහ පෙට්ටි බෙදා හැරීම හෙට පෙරවරු 8 ට ඇරඹේ – රජයේ වාහන ගැන කොමිසමට ප්‍රශ්නයක්

පළාත් පාලන මැතිවරණය සදහා ඡන්ද පත්‍රිකා සහ ඡන්ද පෙට්ටි බෙදා හැරීමේ කටයුතු හෙට (09) පෙරවරු 8 ට ආරම්භ කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.
එහි සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ ඡන්ද මධ්‍යස්ථාන ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරිවරුන් පරීක්ෂා කිරීමේ කටයුතු අද සිදුකළ බවයි.
පළාත් පාලන ආයතන 340 ක් සදහා සභිකයින් 57,252 ක් තෝරා පත් කර ගැනීමට අනිද්දා පැවැත්වෙන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයන් සංඛ්‍යාව එක්කෝටි පනස් හත් ලක්ෂ 60,862 ක්.
රාජ්‍ය නිලධාරීන් එක්ලක්ෂ 75,000 ක් මැතිවරණ රාජකාරි කටයුතු සඳහා යොදවා ඇති බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ.
මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු ඊයේ (07) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමෙන් පසු නීතිවිරෝධී පෝස්ටර් සහ කටවුට් ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.
මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට සිය නිවස කාර්යාලය ලෙස පවත්වාගෙන යා හැකි නමුත්, ඒවායේ ධඡ, පෝස්ටර්, කටවුට් ප්‍රදර්ශනය කිරීම තහනම්.
අදාළ නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන අපේක්ෂකයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ.
මේ අතර, ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු ගෙවෙන නිහඩ කාලසීමාව තුල කිසිදු ප්‍රචන්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බව පොලිස් මුලස්ථානය ප්‍රකාශ කළා.
එමෙන්ම ජන්ද විමසීමට අදාලව මැතිවරණ රාජකාරි කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 65,758 දෙනෙකු යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් දිවයිනේ සියලූ පාසල් ද හෙට දිනයේ වසා තැබෙනු ඇති.