Gossips

ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්

පළාත්පාලන මැතිවරණයට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීම අද පස්වරු 4 ට අවසන් කෙරුණා.
උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ වූ අතර, මේ දක්වා කාලය තුළ බරපතල ගණයේ ප්‍රචන්ඩ ක්‍රියා කිසිවක් වාර්තා නොවූ බවයි මැතිවරණ කොමිසම සහ නිරීක්ෂණ ජාල සදහන් කළේ.
කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 50කට වැඩි අගයක් ගෙන ඇති බවයි දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නංගර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද දහවල් 3 වනවිට සියයට 73 ක ප්‍රතිශතයක් ගෙන තිබුණා.
එමෙන්ම කළුතර සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලද ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 70 ක අගයක පැවති බවයි දිස්ත්‍රික් ලේකම්වරුන් හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද පස්වරු 3 වනවිට සියයට 69 ක අගයක් ගෙන තිබුණා.
මීට අමතරව මහනුවර, සහ මාතලේ යන දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 65 ත් 70 ත් අතර අගයක පවතින බවයි දිස්ත්‍රික් ලේකම්වරුන් කියා සිටියේ.
මොණරගල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 75 ඉක්මවා ඇති බවයි දිස්ත්‍රික් ලේකම් පද්ම කුලසූරිය කියා සිටියේ.
අද පස්වරු එක වනවිට යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 47 ක අගයක පැවති බවට වාර්තාවනවා.
මේ අතර අලූත්ගම – මොරගොල්ල ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයකට පැමිණි පුද්ගලයෙකු, තමන් සළකුණු කළ ඡන්ද පත්‍රිකාව ජංගම දුරකථනයෙන් ඡායාරූප කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 23 ක් වන මොරගල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වන අතර ඔහු පොලිස් ඇප මත මුදාහැර ඇති බවටයි වාර්තාවන්නේ.
එමෙන්ම පුත්තලම – තිල්අඩිය ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක් අසළ පුද්ගලයෙකු ප්‍රවර්ධනය කරමින් සිසිල් බීම බෙදාහරිමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, ඔහු පුත්තලම දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.