Politics Sri Lanka

ඡන්දපාල අනුර දිසානායකට එවපු ලිපිය

ඡන්දපාල අනුර දිසානායකට එවපු ලිපිය

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා වෙත.

මැතිතුමා කියලා ඇමතුවොත් ලෙඩක්ය. සහෝදරයා කියලා ඇමතුවෙත් ගැළපෙන්නේ නැතිය. ඒ හින්දා මහතා කියලා ඇමතුවෙමි.

මොනවා උනත් ඡන්දෙන් පස්සෙ පැරදුණ පක්ෂයක නායකයෙක් හැටියට මාධ්‍ය ඉස්සරහා පෙනී සිටියේ ඔබතුමාය. ඒකත් හොඳ වැඩක්ය. අවුරුදු ගාණක් දේශපාලන භූමියේ කරක් ගහලත් ඔබතුමන්ලට කරකවා ගන්න පුළුවන් සීයට කීයක්ද කියලා දැන් තේරෙන්නේය. මේක ඔබතුමන්ලගේ වරදක් නෙමෙයිය. මේ රටේ මිනිස්සු හිතන විදියක්ය. මේ රටේ වමේ ව්‍යාපාරය හැමදාම පැවතුණේ එහෙම තැනකය.

ඔබතුමන්ලා වෙනුවෙන් මෙදා පාරත් මේ රටේ බුද්ධිමතුන්, කලාකරුවන්, විශ්‍රාමික රජයේ සේවකයෝ වගේම රටේ නමක් තියෙන අය පෙනී සිටියහ. සමහරු කවදාවත් දේශපාලනයක් වෙනුවෙන් පෙනී නොසිටි අයය. එ් අය ඔබතුමන්ලාට ඡන්දය දෙන්න කියලා ඉස්ටේජ්වලටත් නැග්ගේය. පත්තරවලත් පිටු ගණන් පිරෙන්න අත්සන් ගහපු දැන්වීම් දැම්මේය. ඒත් ප්‍රතිඵලය ලොකු වෙනසක් වෙලා නැතිය.

ඒ ඇත්තෝ යමක් කියන්නේ, කරන්නේ තමන්ගේ බඩ වියත වෙනුවෙන් නෙමෙයිය. එහෙම බඩ වියත වෙනුවෙන් කලාවෙන් ජනප්‍රියත්වයට පත් ඒ කාලේ නිල් බලකායට ගන්න කොච්චර මිලක් ගෙව්වාද කියලා ගමේ උන් දන්නේ නැති වුණාට ඔය කලාකාරයෝ දන්නෝය.

ඔබතුමන්ලා වෙනුවෙන් පෙනී හිටපු එක්කෙනෙක්වත් එහෙම කෙනෙක් නෙමෙයි කියලා අපිට හිතෙන්නෙමු. මේ වගේ හැම දෙනාම ඇමතුවේ යමක් තර්කානුකූල ලෙස හිතන්න පුළුවන් කට්ටියක්වය. එහෙම හිතන්න පුළුවන් කට්ටියකට මේ රටේ තීරක බලයක් ලැබෙන්නේ නෑ කියලා තේරෙන්නේය. මෙහෙම උනහම එහෙම කතා කරන කට්ටියත් ඊළඟ පාරක් වෙනකොට නිහඬ වෙන්නේය. එහෙත් මහින්ද මහත්තයා අමතන්නේ එහෙම කට්ටියක් නෙමෙයි කියලා දැනවත් තේරෙන්න ඇතිය. ගෝත්‍රික මානසික තත්ත්වයක ඉන්න අයට ඔබතුමන්ලාටවත් කලාකරුවන්ටවත් විද්වතුන්ටවත් කතාකරන්න තේරෙන්නේ නෑ කියලා අපේ කෙලුවා හැම වෙලාවේම කියන්නේය.

මෙදාපාර පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලපු සමහර අයව ගමේ අය දන්නේවත් නැතිය. ඒත් ඒ අය ඡන්දේ ගත්තේ මහින්ද මහත්තයාව පෙන්නලාය. මහින්ද මහත්තයාව පැරැද්දුවේ ගම්වල හිටපු ප්‍රාදේශීය නායකයෝ කියලා හිතන් හිටියේය. ඒත් මෙදා පාරත් ඒ ඔක්කොම පොහොට්ටුවෙන් ඉල්ලලාය. ඒ ඔක්කොමත් උඩින්ම දිනලාය. ඒ කාලේ හිටපු සමහර සභාපතිවරු දැන් ඉන්නේ හිර ගෙවල්වලය. රටේ නීතිය අනුව හිරේ දඬුවම් ලබන අයට ඡන්දේ ඉල්ලන්න බැරිය. එහෙම පුළුවන් උනානම් ඔය හිරේ ඉන්න අයත් ඡන්දවලින් දිනලා ආපහු සභාපතිකම් ගන්නෝය. මෙහෙව් ප්‍රජාතන්ත්‍රවාදයක් දෝරෙ ගලන රටක උපදින්න ලැබීමත්, ජීවත් වෙන්න ලැබීමත් වාසනාවක් නේද කියලා වෙලාවකට හිතෙන්නේය.

කෙසේ වුවත් ප්‍රාදේශීය සභා තිස් ගානක තීරක බලය ඔබතුමන්ලාගේ පක්ෂයේ එක නියෝජිතයට වුවත් ලැබිලාය. මෙදා පාර සභාපතිවරු තෝරන්න ඒ එක් ඡන්දෙත් වුවමනාය. පුදනකොටම කාපි යකා කියන්නේ ඒ වගේ වෙලාවල්වලටය.

ලෝකේ රටවල්වල ඡන්ද ගැන කරන සමීක්ෂණ තියේය. එහෙම අය හොයන්නේ රටේ මිනිස්සු මේ ඡන්දෙදී හැසිරෙන්නේ කොහෙමද කියාය. එහෙම මුළු ලෝකෙම මිනිස්සු ඡන්දෙදි හැසිරෙන්නේ කොහොමද කියලා හෙවුවත් හොයාගන්න බැරිවෙන රට ලංකාවය. උමා ඔයෙන් ගෙවල් දොරවල්, යනඑන තැන්, රස්සාවල් ඔක්කොම නැතිවෙච්ච මිනිස්සු පහුගිය අවුරුදු ගාණක්ම කෙරුවේ පාරවල්වලට බැහැලා උද්ඝෝෂණ කරපු එකය. ඒවාට නායකත්වය දුන්නෙත් ඔබතුමාලාමය. උමාඔය පටන් අරගෙන ඔය ගම්බිම්වලට ඔය ත්ත්වය ඇති කරේ මහින්ද මහත්තයාය. එහෙත් ඡන්දෙ ගැන්නහම දිනලා තියෙන්නෙත් මහින්ද මහත්තයාමය. ඔබතුමන්ලා පැරදිලාය. පහුගිය කාලෙම මිනිස්සු ආණ්ඩුවට බැන්නේ හොරු අල්ලන්නෙ නැත්තේ මොකද කියාය. හොරු අල්ලපු නැති එකටත් ආපහු ඡන්දෙ දීලා තියෙන්නේ හොරුන්ටමය. මේවා ගැන සිතන කොට මෙහෙම රටවල්වල ඡන්ද සමීක්ෂණ කරන්න මොන යකාටවත් බැරිය.

මෙදා පාර ඡන්දෙදි කාටකාටත් සමාන පිට්ටනියක සෙල්ලම් කරන්න අවස්ථාව ලැබුණේය. ඒක ජනතාව ලබපු ජයග්‍රහණයක්ය. දැන් මොන කතා කීවත් මහින්ද මහත්තයා හිටිය වෙලාවක නම් ඔබතුමන්ලාට තියා කිසිම පක්ෂයකට මෙහෙම සමාන පිට්ටනියක සෙල්ලම් කරන්න අවස්ථාව ලැබෙන්නේ නැත. ඒ අයිතියවත් තව කොච්චර කාලයක් තියා ගන්නවාද කියලා මෙහෙම රටක අයට තේරුම් කරන්න පුළුවන් වුණොත්වත් වාසනාවක්ය.

මෙයට හිතවත්

ඡන්දපාල

උපුටාගැනීම ලංකාදීප (2018.02.15)