ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ පස්වන තරඟය ඊයේ (10) පැවැත්වුනේ චෙන්නායි නුවර එම්.ඒ. චිතම්බරන් ක්‍රීඩාංගණයේද්යි.
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් අතර පැවති මෙම තරඟය ඉතා තියුණු මුහුණුවරක් ගත්තා.
කාසිය වාසිය දිනූ චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝණිගේ ආරාධනයෙන් තරඟයේ පළමුව පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම සිය පන්දුවාර 20 තුල කඩුලු 06ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 202ක්.
එහිදී කොල්කටා නයිට් රයිඩර්ස් පිල වෙනුවෙන් ප්‍රවේගකාරී ඉනිමක් දියත්කළ බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩි රසෙල් රැස්කළ ලකුණු සංඛ්‍යාව 88ක්.
ඇන්ඩි රසෙල් රැස්කළ මෙම ලකුණු 88 මෙවර තරඟාවලියේ මේ වන විට පිතිකරුවෙක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වනවා.
පන්දු 36ක් තුල ගොඩ නැගුනු ඔහුගේ ඉනිමට එක් හතරේ පහරක් සහ දැවැන්ත හයේ පහර 11ක් ඇතුළත්.
ආරම්භක පිතිකරු ක්‍රිස් ලියන් ලකුණු 22ක්, රොබින් උත්තප්පා ලකුණු 29ක් සහ කොල්කටා නායක දිනේෂ් කාර්තික් ලකුණු 26ක් රැස් කරමින් කොල්කටා
නයිට් රයිඩර්ස් ලකුණු පුවරුව ලකුණු 202ක් දක්වා ඉහළට රැගෙන ගියා.
පන්දු යැවීමේදී චෙන්නායි පිල වෙනුවෙන් ෂේන් වොට්සන් කඩුලු 02ක් බිඳ දැමුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි චෙන්නායි පිතිකරුවන් සිය නියමිත පන්දුවාර 20 අවසන් වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී ලකුණු 205ක් රැස් කරමින් සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේ චිතම්බරන් ක්‍රීඩාංගණයට රැස්ව සිටි බහුතරයක් වූ චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රේක්ෂකයින් උද්යෝගමත් කරමින්.
එහිදී ෂේන් වොට්සන් ලකුණු 42ක් රැස්කළ අතර අම්බති රයිදු ලකුණු 39ක් සහ සෑම් බිලින්ස්ලකුණු 56ක් රැස් කිරීමට සමන්ත වුණා.
අවසන් මොහොතේ නොදැවී ලකුණු 11 බැගින් රැස්කළ රවින්ද්‍ර ජඩේජා සහා ඩ්වේන් බ්‍රාවෝ චෙන්නායි පිල ජයග්‍රහණය කරා රැගෙන ගියා.
චෙන්නායි කණ්ඩායම රැස් කළ ජයග්‍රාහී ලකුණු 205 මෙවර තරඟාවලියේ කණ්ඩායමක් මේවන තෙක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වනවා.
