Gossips

චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම මේ වසරේ

චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම මේ වසරේදී අත්සන් තැබීමට නියමිත බව බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය උපුටා දක්වමින් චයිනා ඩේලි පුවත්පත වාර්තා කළා.
භාණ්ඩ, සේවා, ආයෝජන මෙන්ම ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතාව මෙම පරිපූර්ණ නිදහස් වෙළඳ ගිවිසුම මගින් ආවරණය කෙරෙනු ඇති.
බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර ඇති පරිදි නිදහස් වෙළඳ ගිවිසුමට අදාළව පැවති 6 වන වටයේ සාකච්ඡා 2017 වසරේ මාර්තු මාසයේදී අවසන් වී තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ චීනය අතර ආර්ථික සහ වෙළද සහයෝගීතාවයේ වැදගත්කම පැහැදිලි කළ චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන කොඩිතුවක්කු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙරට නිෂ්පාදන වැඩි වශයෙන් චීන වෙළදපොළට අපනයනය කිරීමට අපේක්ෂා කරන බවයි.
චීනයේ එක් තීරුවක් – එක් මාවතක්, නව සේද මාර්ග ව්‍යාපෘතියේ ශ්‍රී ලංකා සම්බන්ධය පිළිබදව ද තානාපතිවරයා චයිනා ඬේලි පුවත්පතට අදහස් දක්වා තිබෙනවා.
චීනය සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධව ක්‍රියාත්මක වන කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය වැනි ව්‍යාපෘති මගින් මෙරට සංවර්ධනයට විශාල අවස්ථා උදා වී ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
කොළඹ වරාය නගරයේ ගොඩ කිරීම් පසුගිය මාසයේදී අවසන් වීමත් සමඟ එහි ආයෝජන සඳහා පවතින අවස්ථා පිළිබදව ද තානාපතිවරයා සිහිපත් කර තිබෙනවා.