Gossips

චීන ඇමරිකා ආර්ථික හා වෙළඳ අර්බුදයේ සත්‍ය තොරතුරු එළියට

චීන ඇමරිකා ආර්ථික හා වෙළඳ අර්බුදයේ සත්‍ය තොරතුරු හා චීනයේ ස්ථාවරය පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කර තිබේ.
චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද (24) මෙම ධවල පත්‍රිකාව නිකුත් කළේය. චීන ඇමරිකා ආර්ථික හා වෙළඳ සබඳතාව පිළිබඳ සත්‍ය තත්ත්වය පැහැදිලි කරමින් ඒ පිළිබඳව චීනයේ ප්‍රතිපත්ති හා ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් අදාළ ප්‍රශ්න නිසි පදිරි විසඳා ගැනීම එහි අරමුණයි.
චීනය, ලෝකයේ විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට මෙන්ම ඇමරිකාව, ලෝකයේ විශාලත ම සංවර්ධිත රට බව මෙම ධවල පත්‍රිකාවේ සඳහන් වෙයි.
චීන ඇමරිකා ආර්ථික හා වෙළඳ සබඳතාව, දෙරටට පමණක් නොව ‍ගෝලීය ආර්ථික ස්ථාවරත්වය හා සංවර්ධනය කෙරෙහි ද දැවැන්ත බලපෑම් සිදු කරයි.
චීනය හා ඇමරිකාව යන දෙරටේ සංවර්ධන අදියරයන් සහ ආර්ථික ක්‍රම අසමානය. ආර්ථික හා වෙළඳ ගැටුම් පැවතීම සාමාන්‍ය දෙයකි. එහෙත් අන්‍යෝන්‍ය වි‍ශ්වාසය තහවුරු කරමින් සහ‍යෝගිතා පුළුල් කරමින් මතභේද පාලනය කිරීම එහි හරය විය යුතුය.
ගෙවී ගිය වසර 40 තුළ, දෙරට අදහස් හුවමාරු කිරීමේ පද්ධතීන් රැසකින් විවිධ අසීරුතා අභිබවා දෙරටේ සබඳතාව නොකඩවාම ඉදිරියට ගෙන යාම සඳහා පොදුවේ දායක වී ඇතැයි මෙම ධවල පත්‍රිකාව පෙන්වා දෙයි.
2017 වසරේ ඇමරිකාවේ නව ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු, “ඇමරිකාව ප්‍රමුඛත්වයෙන් ”යන සටන් පාඨය යටතේ, අන්‍යෝන්‍ය ගෞරවය, සාධාරණ සාකච්ඡා ඇතුළු ජාත්‍යන්තර ගනුදෙනු මූලධර්මයන් ගෙන් බැහැරව ඒකපාර්ශවිකවාදය, ආරක්ෂණවාදය හා ආර්ථික අධිපතිවාදය ක්‍රියාත්මක කරමින් චීනය ඇතුළු බොහෝ රටවල් වලට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරන අතර අතිරේක තීරු බදු පැනවීමෙන් ආර්ථික තර්ජනයන් එල්ල කරමින් සිටින බව මෙම ධවල පත්‍රිකාව පවසයි.
එහෙත් දෙරටේ පොදු පලප්‍රයෝජනයන් හා ‍‍ලෝක වෙළඳ විධිවිධාන ආරක්ෂා කිරීම සඳහා සංවාද හා සාකච්ඡා හරහා මතභේද නිරාකරණය කිරීමේ මූලධර්මයෙහි චීනය සැමවිටම නියළි සිටී. වෙනස් අදහස් පැවතිය ද පොදු පලප්‍රයෝජනය වෙනුවෙන් චීනය දැඩි ලෙස දායක වෙමින් සිටින බව මෙම ධවල පත්‍රිකාව ප්‍රකාශ කරයි. එහෙත් ඇමරිකාව තමා ලබා දුන් ප්‍රතිඥා නිතරම කඩ කරමින් මතභේද උග්‍ර කරයි. ඉන් චීන ඇමරිකා වෙළඳ ගැටළුව කෙටි කාලයක් තුළ උග්‍ර වෙමින් දෙරටේ රජයන් හා ජනතාව වසර ගණනාවක වෑයමකින් බිහි කර ගත් ආර්ථික සබඳතාවට දැඩි හානියක් සිදු කර තිබේ. ඒ හේතුවෙන් බහුපාර්ශවික වෙළඳ පද්ධතිය හා නිදහස් වෙළඳ ගනුදෙනු මූලධර්මයන් ද දැඩි තර්ජනයන්ට ලක් ව ඇතැයි මෙම ධවල පත්‍රිකාව සඳහන් කරයි.
චීන ඇමරිකා ආර්ථික හා වෙළඳ සබඳතාව දෙරටේ ජනතාවගේ සුබ සෙතටත් ලෝක සාමය, සමෘද්ධිය හා ස්ථාවරත්වයටත් බලපාන බව ද සහ‍යෝගතාව එකම නිවැරදි තේරීම බව ද චීනය නිකුත් කළ මෙම‍ ධවල පත්‍රිකාව අවධාරණය ක‍රයි.