Gossips

චාමරට විරෝධය පා ශෂේන්ද්‍ර ඇතුළු තුන්දෙනෙක් විපක්ෂයට

ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරුන් ඕනෑම අවස්ථාවක මිලට ගැනීමට තමන්ට හැකියාව පවතින බවට පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් එම පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් තුන්දෙනෙකු අද විපක්ෂයේ අසුන් ගත්තා.
පළාත් සභා මාසික රැස්වීමේදී මෙලෙස විපක්ෂයේ අසුන් ගත්තේ හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, සභානායක සුදර්ශන දෙණිපිටිය සහ එකාබද්ධ විපක්ෂයට සහාය පලකරන ,පළාත් සභා මන්ත්‍රී කුමාරසිරි රත්නායකයි.
පසුගියදා පැවති කලාවැව නිදහස් පක්ෂ බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පළාත් සභා මන්ත්‍රීවරුන් මිලට ගත හැකි ආකාරය පැහැදිලි කළ අතර ඊයේ නාච්චිදූව ප්‍රදේශයේ පැවති අනුරාධපුර – නැගෙනහිර ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ඔහු එම කතාවම යළි සිදුකළා.
මෙම ප්‍රකාශය නිසා ඌව පළාත් සභාවේ මැති ඇමතිවරුන්ට අවමානයක් සිදුවී ඇති බැවින් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව අද මන්ත්‍රීවරුන් පිරිසක් විශ්වාසභංග යෝජනාවක් භාර දෙනු ලැබුවා.
කෙසේ වෙතත්, එය පළාත් සභාවේ සභාපති ඒ.එම්.බුද්ධදාස විසින් ප්‍රතික්ෂේප කළේ 34 දෙනෙකුගෙන් යුත් පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 7 දෙනෙකු පමණක් යෝජනාවට අත්සන් කර තිබීම හේතුවෙන්.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ද මහඇමතිවරයාගේ ප්‍රකාශයට විරෝධය පළ කරමින් කළු පටි පැළඳ අද පළාත් සභා රැස්වීමට පැමිණ සිටියා.
පසුව අදහස් දැක්වූ හිටපු මහඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ කියා සිටියේ තමන් ඇතුළු විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රීවරුන් ඉදිරියේදී ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස පළාත් සභාව තුළ කටයුතු කරන බවයි.
අනතුරුව, ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ද සභාව ඇමතූ අතර එහිදී ඔහු කියා සිටියේ තම ප්‍රකාශයෙන් පළාත් සභාවේ මැති ඇමතිවරුන්ට අවමානයක් සිදුවී ඇත්නම්, සමාව අයැද සිටින බවයි.
පසුව නැගි සිටි ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් මන්ත්‍රීවරුන්ට අවමානයක් සිදුව ඇති බැවින් මේ පිලිබඳව ජනාධිපතිවරයා දැනුවත් කල යුතු බව සඳහන් කළා.
එම යෝජනාව සඳහා ජන්ද විමසීමක් පැවත්විය යුතු බවට ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසානායක සඳහන් කල අතර අනතුරුව පැවති ජන්ද විමසීම ප්‍රධාන අමාත්‍යවරයා ජයගත්තේ වැඩි ජන්ද 05කින්.
යෝජනාවට විරුද්ධව ජන්ද 11ක් හිමිවු අතර පක්ෂව හිමිවූයේ ජන්ද 06ක් පමණයි.
ස්වාධින මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව පැවසු හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුලූ 03 දෙනා මෙන්ම, මේ වනවිටත් පළාත් සභාව තුල ස්වාධීන මන්තීී‍්‍රවරයෙකු ලෙස කටයුතු කරන තිස්ස කුට්ටිආරච්චි, ජනතා විමුක්ති පෙරමුණේ මන්තිී‍්‍රවරුන් දෙදෙනා සමග එක්ව යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළා.
නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 06 දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු ජන්දය භාවිතා කළේ යෝජනාවට විරුද්ධවයි.