Gossips

චමල්ගේ තැනට සම්බන්ධන් එයි

පුරප්පාඩු වීමට නියමිත අගවිනිසුරු ධුරය සහ විගණකාධිපති ධුරයට අදාළ නම් මේ මාසය අවසන් වීමට පෙර නිර්දේශ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අවධානය යොමුව තිබෙනවා.
ඊයේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තුවේ දී රැස්වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ එහි සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සදහා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ගේ නම නිර්දේශ කර තිබුණා.
මේ අතර, හානි පූර්ණය සදහා වන කාර්යාලය, ධාරා විජේතිලකගේ සභාපතීත්වයෙන් යුක්තව පූර්ණ සාමාජිකත්වයක් සහිතව විධිමත් කර ඇති බව කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට දැනුම්දුන් බවයි කතානායක මාධ්‍ය ඒකකය සදහන් කළේ.
එමෙන්ම, ජාතික පොලිස් කොමිෂන් සභාව ද එහි සභාපති කේ.ඩබ්ලිව්. ඒකනායක ඇතුළු පූර්ණ සාමාජිකත්වය සහිතව ක්‍රියාත්මක වන බව ද කතානායකවරයා දැනුම්දී තිබෙනවා.