Gossips

ඝෝෂාකාරී නාද රටා සහිත රථ වාහන සඳහා වැටලීම් ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිට උපදෙස්

ඝෝෂාකාරී නාද රටා සහිත රථවාහන සඳහා වැටලීම් ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි රාජ්‍ය ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දීයි මේ පිළිබඳ උපදෙස් ලබා දී ඇත්තේ.
පරිසර දූෂණයේ අංගයක් වන ශබ්ද දූෂණය මැඩැලීමටත් අනාගතයේ දී සංවර්ධිත විනය ගරුක රටක් බිහිකිරීමට කෙටි කාලීන හා දිර්ඝ කාලිනව ගතයුතු තීන්දු තීරණ පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක් වු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ශබ්ද දූෂණය ඇති කරන අධි ඝෝෂාකාරි හෝන් පාලනයට දැඩි නීති රීති හඳුන්වාදීමට ද රජය පියවර ගෙන තිබෙනවා.
රථවාහන නීති උල්ලංඝනය සහ ඩෙසිබල් 105 ට වඩා වැඩි නළා සඳහා අවශ්‍ය නීති ක්‍රියාත්මක කිරීමට ලංකාවේ සියලූම පොලිස් ස්ථාන දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසට ද මෙහිදී රථවාහන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට දැනුම් දී තිබෙනවා.
මීට අමතරව රටේ සියලූම පාසල් සිසුන්, සියලූම මගීන් සහ රියදුරන් සම්බන්ධ කරගනිමින් නිශ්ශබ්දතා දිනයක් ප්‍රකාශයට පත්කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
මෙම සාකච්ඡාවට පැමිණි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් සියල්ලම සහ සියලූම ආයතන නීති රීති ක්‍රියාත්මක කිරීමට එකඟතාවය පළ කිරීම විශේෂත්වයක්.