Gossips

ඝාතනය වූ ව්‍යාපාරිකයින් වෙනුවෙන් රත්ගම ජනතාව විරෝධතාවක – ගාලූ පාරත් අවහිරයි

රත්ගම – බූස්ස ප්‍රදේශයේදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කර පිලිස්සීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය රත්ගම මංසන්ධියෙන් අවහිර කරමින් මේ වන විට විරෝධතාවයක නිරත වනවා.
පෙරවරු 10ට පමණ ඇරඹි මෙම විරෝධතාව හේතුවෙන් පැය 02කට ආසන්න කාලයක් මෙම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
මෙම විරෝධතාවට මියගිය ව්‍යාපාරිකයන් දෙදෙනාගේ ඥාතීන්ද එක්ව සිටින අතර විරෝධතාවයේ නිරත පිරිස් පුවරු රැගෙන මාර්ගය මැද හිද ගනිමින් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වන බවද වාර්තා වනවා.
එමෙන්ම මුහුදුබඩ දුම්රිය මාර්ගය දොඩම්ගොඩ සහ රත්ගම අතරින් කොට යොදා ප්‍රදේශවාසීන් හරස් කර ඇති බවද ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළා.
මේ අතර, පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන ගාල්ල – රත්ගම – රත්නඋදාගම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ බවට සැක කෙරෙන රුධිර සාම්පල, අස්ථි කොටස් සහ හිසකෙස්වල සාම්පල ඩී.එන්.ඒ. පරීක්ෂාව සඳහා ලබන සඳුදා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට භාර දෙන බව එහි නිලධාරියෙකු සදහන් කළා.
ඉන් අනතුරුව සතියක් ඇතුළත අදාළ වාර්තාව ලබා ගැනීමට හැකි වනු ඇති බවයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම සිද්ධියට පොලිස් නිලධාරීන් 7 දෙනෙකු සම්බන්ධ බවට මේ වන විට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
ඒ අතර පොලිස් කොස්තාපල්වරයෙකු සහ සැරයන්වරයෙකු ද සිටින බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධනගේ සහ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් රෝහණගේ දුරකථන දත්ත විශ්ලේෂණය කිරීමේදී ඔවුන් මෙම සිද්ධියට ඍජුව සම්බන්ධ නොමැති බවට අනාවරණ වී තිබෙන බව ද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් අක්මීමන – ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ දී පහර දී ඝාතනය කර පසුව මොවුන්ගේ සිරුරු වලස්මුල්ල – මැදගම්ගොඩ – කනුමුල්දෙණිය රක්ෂිතයේදී ඞීසල් දමා පුළුස්සා තිබෙනවා.
එහි තිබී ඔවුන්ගේ අස්ථි කොටස් සහ හිසකෙස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ පස්වරුවේ සොයා ගත්තා.
පසුගිය ජනවාරි 23 වනදා පොලිස් නිල ඇඳුමින් සැරසුණු පිරිසක් කළු පැහැති වෑන් රථයකින් සහ මෝටර් රථයකින් පැමිණ මෙලෙස පැහැරගෙන ගොස් තිබුණේ 31 හැවිරිදි රසීන් චින්තක සහ 33 හැවිරිදි මංජුල අසේල යන දෙදෙනායි.
පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා අත්අඩංගුවට ගත් අතර, ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරයේයි පසුවන්නේ.
පසුව අදාළ සිදුවීමට සම්බන්ධ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂක විරාජ් මධුශංක පෙරේදා අත්අඩංගුවට ගත් අතර, පැය 48 ක කාලයක් ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි අධිකරණය ඊයේ අවසර ලබාදුන්නා.
මෙම සිදුවීමට අදාළව කෙරෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන හේතුවෙන් දකුණ පළාත භාර නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන ද පසුගිය 17 වැනිදා පොලිස් මූලස්ථානයට මාරු කළා.
මෙම සිද්ධිය හේතුවෙන් 25 දෙනෙකුගෙන් සමන්විත දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 15 දෙනෙකු බස්නාහිර පළාත වෙත මාරු කර යවා තිබෙනවා.