බුලත්සිංහල – ගෝවින්න ප්රදේශයේ නිවසක තිබී එකම පවුලේ වයෝවෘද්ධ සහෝදරයෙකුගේ සහ සහෝදරියකගේ මළ සිරුරු අද සොයා ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ සහෝදරයා විසින් සිය සහෝදරිය ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහු ද ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි.
මෙලෙස මියගොස් තිබුණේ එම ප්රදේශයේම පදිංචි වයස අවුරුදු 80 ක කාන්තාවක් සහ 75 හැවිරිදි ඇයගේ සොහොයුරායි.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ සිරුර නිවස තුළම තිබී ඇති අතර සොහොයුරාගේ මළ සිරුර නිවසින් පිටත ආසන්න ස්ථානයක තිබී සොයා ගෙන තිබෙනවා.
මියගිය කාන්තාව අනතුරකින් ඇති වූ අස්ථි බිඳීමක් හේතුවෙන් නිවසේ එක්තැන්ව සිට ඇති අතර, සහෝදරයා ද අසනීප තත්ත්වයෙන් සිටි බව ප්රදේශවාසීන් සදහන් කළා.
මේ අතර, යාපනය – අරියාලේ – නෙලූක්කුලම ප්රදේශයේදී යතුරුපැදියක්, දුම්රියක ගැටී අද සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එහිදී යතුරුපැදියේ ගමන්ගත් තවත් පුද්ගලයෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය ප්රකාශ කළේ.
කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වූ දුම්රියේ මෙම යතුරුපැදිය ගැටී ඇත්තේ යතුරුපැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන්. මියගිය දෙදෙනාගේ වයස අවුරුදු 29 ක් සහ 30 ක්.