Gossips

ඝන පූර්ණය නැහැ පාර්ලිමේන්තුව අදත් කල් තබයි

ඝනපූර්ණය නොමැතිවීමෙන් පාර්ලිමේන්තුව හෙට උදෑසන 10 දක්වා කල් තැබීමට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි අද තීරණය කළා.
පාර්ලිමේන්තුව උදෑසන 10 ට ආරම්භ වූ අතර, වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වටය ආරම්භවීමට ප්‍රථම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ ඝනපූර්ණය නොමැතිවීමෙන් සභාවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බවයි.
සභාව පවත්වාගෙන යෑම සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකු රැඳී සිටිය යුතු වනවා.
කෙසේ වෙතත් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ඝනපූර්ණය සම්බන්ධයෙන් නියෝජ්‍ය කථානායකවරයාගෙන් ප්‍රශ්න කරන අවස්ථාවේදී සභාවේ රැඳී සිටියේ මන්ත්‍රීවරු 13 දෙනෙකු පමණයි.
ඒ අනුව මන්ත්‍රීවරුන් රැස් කිරීමේ සීනුව නාද කිරීමට නියෝජ්‍ය කථානායකවරයා කටයුතු කළා.
අනතුරුව නැවතත් සභාවේ සිටින මන්ත්‍රීවරු ගණනය කළද රැඳී සිටියේ මන්ත්‍රීවරු 16 දෙනෙකු පමණයි.
එහිදී සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු රැස්වීම දිනකට පවත්වාගෙන යාමට විශාල මුදලක් වැයවන බැවින් ඝනපූර්ණය නොසලකා සභාවේ කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය සහය දෙන ලෙස බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටියා.
ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය කථානායකවරයා ප්‍රකාශ කළේ ස්ථාවර නියෝග අනුව තමන්ට එලෙස පාර්ලිමේන්තුවේ ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර ලබාදිය නොහැකි බවයි.
ඒ අනුව සභාව හෙට උදෑසන 10 දක්වා කල් තැබීමට නියෝජ්‍ය කථානායකවරයා කටයුතු කළා.