Gossips

ගෝලීය දෙමළ සංසදය ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත්වීමක් අපේක්ෂාවෙන්

ශ්‍රී ලංකාවේ වගවීම් සහ සංහිදියා ක්‍රියාවලිය තවදුරටත් පවත්වාගෙන යාම සහතික කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සියළු ක්‍රියාමාර්ග ගත යුතු බව ගෝලීය දෙමළ සංසදය පවසනවා.
එමගින් ප්‍රකාශ කර ඇත්තේ යුද්ධය නිමවී වසර 9ක් ගත වී ඇති අතර, මානව හිමිකම් කොමිසමේ යෝජනාවට සම සත්කාරකත්වය දක්වා වසර දෙක හමාරක් ගත වීමෙන් අනතුරුව ද ශ්‍රී ලංකාව සිය කැපවීම් සහ අභිලාෂයන් උදෙසා අර්ථවත් පියවර ගෙන නොමැති බවයි.
අනතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීම සඳහා වූ නීති කෙටුම්පත් කොට වසර එක හමාරක් ගත වන තුරු එය ක්‍රියාත්මක වූයේ නැහැ.
ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ද දැන් නතර වී ඇති සෙයක් දිස්වන බවයි ගෝලීය දෙමළ සංසදය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මෑතකදී අවසන් වූ පළාත් පාලන මැතිවරණයෙන් වර්ගවාදී දේශපාලනය නැවතත් කරළියට පැමිණීම වැළැක්වීමේ අවශ්‍යතාව මතු වී තිබෙනවා.
එමගින් පැහැදිලි වන්නේ මෙරට දේශපාලන නායකත්වය වෙත මඟ පෙන්වීමක් අවශ්‍ය බවයි.
මේ හේතුවෙන් දැන් ක්‍රියාත්මක වන ජිනිවා මානව හිමිකම් සැසි වාරය සියලූම ශ්‍රී ලාංකිකයන්ට විශේෂ වැදගත්කමකින් යුක්ත වන බව ගෝලීය දෙමළ සංසදය සඳහන් කළා.
ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු පසුගිය ජනවාරි 25 වන දා ගොනු කළ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් ගෝලීය දෙමළ සංසදය ප්‍රසාදය පළ කළා.
එම වාර්තාවේ සඳහන් වූයේ ශ්‍රී ලංකාව මානව හිමිකම් මණ්ඩල යෝජනාවට අනුව විශ්වාසය ගොඩනැගීමේ පියවර ප්‍රමාණවත් අන්දමින් ක්‍රියාත්මක කර නොමැති බවයි.
මානව හිමිකම් මණ්ඩලය හමුවේ ලබාදුන් ප්‍රතිඥාවන් ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බවට ජිනිවා මණ්ඩල සැසි වාරයට සහභාගි වූ බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශ නියෝජිත තරික් අහ්මාඩ් ද කියා සිටියා.
මේ අතර, මේ පිළිබදව අදහස් දක්වමින් දේශප්‍රේමී වෘත්තියවේදීන්ගේ සංගමයේ සාමාජික ආචාර්ය නාලක ගොඩහේවා කියා සිටියේ ස්වෛරී රටක අභ්‍යන්තර කටයුතුවලට අත පෙවීමේ හැකියාවක් ජාත්‍යන්තරයට නොමැති බවයි.
ඔහු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා පුරවැසි සංවිධාන නියෝජනය කරමින් මෙවර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයේදී ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ප්‍රකාශයට දැඩි විරෝධය පළ කිරීමට බලාපොරොත්තු වන බවයි.
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශය පිළිබදව අදහස් පළ කරමින් කියා සිටියේ සංහිඳියාව සියලූ ජනතාවගේ මනස තුළ ඇතිවිය යුතු හැඟීමක් බවයි.
එය බලපෑම් කර විදේශීය රටවලට සිදුකළ හැක්කක් නොවන බවද ඔහු පෙන්වා දුන්නා.