Gossips

ගෝඨාභය අද විශේෂ මහාධිකරණයට

විශේෂ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් පවරනු ලැබූ දෙවන නඩුව අද (10) සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීමට නියමිතයි.
ඒ අනුව මෙම නඩුවේ විත්තිකරුවන් වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලු හත්දෙනා අද (10) එම අධිකරණය හමුවේ පෙනී සිටිනු ඇති.
තංගල්ල – වීරකැටිය – මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත කිරීම ඇතුලු පොදු දේපළ පනත යටතට ගැනෙන අධිචෝදනා හතක් යටතේ නීතිපතිවරයා පසුගිය අගෝස්්තු 24 වනදා මෙම නඩුව පවරා තිබුණා.
එහි විත්තිකරුවන්ට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල සිතාසි නිකුත් කර තිබුණේ පසුගිය 27 වනදායි.
ඒ අනුව ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ඇතුලු 7 දෙනාට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ගොනුකර තිබූ නඩුවක් සළකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මොවුන්ට පසුගිය හත්වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පසුගිය ජූනි 20 වනදා සිතාසි නිකුත් කළා.
කෙසේ වෙතත් මූල්‍ය අපරාධ කොට්ඨාශය ගොනුකළ මෝසමකට අනුව මෙම නඩුව පසුගිය 23 වනදා කැඳවූ අවස්ථාවේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලු හත්දෙනාට නිකුත් කර තිබූ සිතාසි නියෝගය වහාම ආපසු කැඳවූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක පෙර නියම කළ පරිදි පසුගිය හත්වනදා අධිකරණය හමුවේ පෙනී සිටීමේ අවශ්‍යතාවක් නොමැති බවට නිලධාරීන්ට නියෝග කර තිබුණා.
මේ අතර ප්‍රථමයෙන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබූ මෙම නඩුව ඉල්ලා අස්කරගැනීමට නීතිපති උපදෙස් ලැබී ඇතැයි දන්වමින් මූල්‍ය අපරාධ කෙට්ඨාශය කළ කරුණු දැක්වීම සළකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක පසුගිය හත්වනදා එම ඉල්ලීමට අවසර ලබාදෙමින් මෙම නඩු කටයුත්ත අවසන් කිරීමට නියෝග කොට තිබුණා.