Gossips

ගෝඨාභය අත්අඩංගුවට නොගෙන, පරීක්ෂණ සඳහා අභියාචනාධිකරණයෙන් අවසර.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට නොගෙන ඩී . ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ හැකි බවට අභියාචනාධිකරණය අද (05) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයට දැනුම් දුන්නා.
ඒ පොදු දේපල පනත යටතේ තමන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වලක්වාලමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම්වරයා ගොනු කළ පෙත්සම ජූලි මස 02 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද දින නියම කළා.
ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් කෝටි 3 ක මුදලක් අවභාවිත කළ බවට පොදු දේපළ පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විමර්ශණයක් සිදු කරනවා.
එම පරීක්ෂණ ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම්වරයා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවේ පසුගිය 28 වනදායි.
එම පෙත්සම ඊට පසුදින සලකා බැලූණු අතර ඒ අනුව පොදු දේපළ පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
එම අතුරු තහනම ජූලි මස 03 වනදා දක්වා දීර්ඝ කිරීමටයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද (05) නියෝග කළේ.