Gossips

ගෝඨාභයට එරෙහි නඩුවක් ඇමරිකානු අධිකරණය විවෘත කළ බවට වාර්තා

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය විසින් ගොනුකළ පැමිණිල්ල ඇමරිකාවේ – කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයක විවෘත කර ඇති බව යුක්තිය සහ වගවීම සදහා මධ්‍යස්ථානය උපුටා දක්වමින් බී.බී.සී. පුවත් සේවය වාර්තා කරනවා.
යුක්තිය සහ වගවීම් සදහා මධ්‍යස්ථානය සදහන් කර ඇත්තේ කැලිෆෝනියා හි දිස්ත්‍රික් අධිකරණයක ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් ඊයේ එම නඩුව විවෘත කර ඇති බවයි.
ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වෙනුවෙන් පෙනී සිටිමින් අදාළ නඩුව පවරා ඇත්තේ එම මධ්‍යස්ථානයයි.
අදාළ චෝදනා සම්බන්ධයෙන් සති 3 ක් ඇතුළත පිළිතුරු ලබාදීමට, ප්‍රතික්ෂේප කිරීමට සහ නඩුව ඉවත් කර ගැනීමට මෝසමක් ඉදිරිපත් කළ හැකි බව ද එම මධ්‍යස්ථානය පෙන්වා දී තිබෙනවා.
එසේ පිළිතුරු ලබාදීමක් සිදුනොකරන්නේ නම්, හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ සහභාගිත්වයෙන් තොරව නඩු විභාගය සිදුකරනු ඇති බවයි යුක්තිය සහ වගවීම සදහා වන මධ්‍යස්ථානය ප්‍රකාශ කරන්නේ.
මේ අතර, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව කැලිෆෝනියාවේ අධිකරණයක ද දෙමළ තරුණයෙකු වද හිංසාවට ලක් කිරීමට අදාළව නඩුවක් ගොනුකර ඇති බව පසුගියදා වාර්තා වුණා.
කෙසේ වෙතත්, ඇමරිකාවේ සිට දිවයිනට පැමිණි අවස්ථාවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සදහන් කළේ මෙම නඩු පැවරීම දේශපාලන අවශ්‍යතා මත සිදුවූවක් බවයි.
මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සහ එම පක්ෂයේ නියෝජිතයන් පිරිසක් ඊයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමුවුණා.
එහිදී තම පක්ෂයේ අදහස් හිටපු ආරක්ෂක ලේකම්වරයාට ලිඛිතව භාරදුන් බවත්, ඒ සම්බන්ධව ඔහුගේ ප්‍රතිචාරය බලාපොරොත්තු වන බවත් එම සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.