ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 07 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ දිනපතා විභාගය අද ආරම්භ කෙරුණා.
ඒ, සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී යන ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.
මෙම නඩුවට පෙනී සිටීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පැමිණ සිටි බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
මෙහිදී විත්තිකරුවන්ට ඔවුන්ට විරුද්ධව පවතින චෝදනා අධිකරණය හමුවේ කියවා දී තිබෙනවා.
හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙම නඩුව විභාගයට ගැනීමට අධිකරණයට පවතින බලය සම්බන්ධයෙන් මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළ අතර තවදුරටත් නඩු විභාගය පැවැත්වෙන බවයි අප අධිකරණ වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ.
මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මොවුන්ට විරුද්ධව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබෙනවා.