Gossips

ගොවීන්ගේ මූලික ගැටලුවලට ස්ථිර විසඳුම් ලබාදීම තම ප්‍රමුඛ වැඩපිළිවෙල බව ජනපති කියයි

ගොවි ජනතාවගේ මූලික ගැටලුවලට ස්ථිර විසඳුම් ලබාදීම තම ප්‍රමුඛ වැඩපිළිවෙල බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
පාසල් සමයේ සිට නගුල, දෑකැත්ත හුරු ගොවි පුතෙකු ලෙස මෙරට ගොවි ජනතාවගේ ගැටලූ තමාට අරුමයක් නොවු බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.
"ගොවි තාත්තා" සිනමා පටයේ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් අද (31) පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
පැරණි පරිසර හිතවාදී ක්‍රමවේදයෙන් මුලූමනින්ම ඉවත් වෙමින් පරිවර්තනය වූ රසායනික පොහොර භාවිතය හා බැදුණු නූතන කෘෂිකාර්මික යුගයේ දී ගොවියා සහ මිනිසා මුහුණු දෙන ජීවන ඛේදවාචකයන් අලළා නිර්මාණය වන ලොව ප්‍රථම ආසියාතික ගොවි සිනමා සිත්තම ලෙස "ගොවි තාත්තා" හැදින්වෙනවා.
උණගලා වෙහෙර ගම්මානයේ ප්‍රේමරත්න දිසානායකගේ ජීවන පුවත "ගොවි තාත්තා" නමින් ඔහුගේ පුත් සංගීතඥ දර්ශන රුවන් දිසානායක විසින් මෙලෙස සිනමාවට නැගීමට නියමිතයි.
"ගොවි තාත්තා" සිනමා පටයේ තිර පිටපත එහි නිෂ්පාදක සරත් බණ්ඩාර කොක්වැව මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා ඉදිරියේ ප්‍රේමරත්න දිසානායකගේ බිරිඳ වන බී.එම්. බිසෝමැණිකේ මහත්මිය වෙත පිළිගැන්වුනු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.