Gossips

ගොවීන්ගේ ආදායම ඉහළ නැංවිය හැකි ක්‍රමයක්

පසු අස්වනු හානිය වළක්වා ගන්නේ නම්, ශ්‍රී ලංකාව ඇතුළු රටවල ගොවීන්ගේ ආදායම කැපී පෙනෙන ලෙස ඉහළ නැංවිය හැකි බව අන්තර් ජාතික සහල් පර්යේෂණ ආයතනයේ ප්‍රධානී ආචාර්ය ජීන් බැලී ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ තුන් වන ලෝකයේ රටවල පසු අස්වනු හානිය සියයට 40ක් තරම් ඉහළ අගයක් ගන්නා බවයි.
අතිරික්ත අස්වැන්න කල් තබා ගැනීම සඳහා සූර්ය බලයෙන් වියළීම වැනි සරල ක්‍රම භාවිතා කළ හැකි බව ආචාර්ය ජීන් බැලී වැඩිදුරටත් සඳහන් කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති ජාත්‍යන්තර කෘෂිකාර්මික සමුළුවක් අමතමින්.
ගොවීන්ගේ ආදායම දෙගුණ කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සොයා බැලීම සමුළුවේ තේමාවයි.
සංවර්ධිත රටවල් සිය පළතුරු අස්වැන්නට සියයට 40ක පමණ අගයක එකතු කිරීමක් සිදුකරනු ලබනවා.
එහෙත් ඉන්දියාව, ශ්‍රී ලංකාව ආදී රටවල් එලෙස පළතුරු අස්වැන්නට එක් කරන අගය සියයට 2 නොඉක්ම වන බවයි අන්තර් ජාතික සහල් පර්යේෂණ ආයතනයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ.