Gossips

ගොවි විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් 50 දෙනෙකු රිමාන්ඩ් – 9 කට ඇප

තඹුත්තේගම නගරයේ පැවති විරෝධතාවක් අතරතුර අධිකරණ නියෝග කඩකරමින් කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් 59 දෙනාගෙන් 50 දෙනෙකු මේ මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඔවුන් ඊයේ රාත්‍රියේ තඹුත්තේගම මහේස්ත්‍රාත් චමිලා නදීෂානි හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකුද වනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනෙකු සහ සැකකාරියන් 3 දෙනෙකු ශරීර ඇප මත මුදාහැරීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.
සැකකරුවන් සියලුදෙනා ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින්නැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් දීර්ඝව කරුණු දක්වමින් කළ ඉල්ලීම් සියල්ල තරයේ ප්‍රතික්ෂේප කරමිනුයි ඇය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
අධිකරණ නියෝග කඩකරමින් නීතිවිරෝධීව අයුතු ජන රාශියක නියැලීම, මහජන සාමය කඩවන ආකාරයට පාදෙණිය – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා පමුණුවමින් කළහකාරී ලෙස හැසිරීම සහ තඹුත්තේගම මූලස්ථාන පොලීසියේ දේපළවලට හානි කිරීම මොවුන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනායි.
පෞද්ගලික අංශය මගින් රාජාංගණ ජලාශයේ ජලය යොදාගෙන ඇරඹීමට නියමිත ජලාශ ව්‍යාපෘතියකට විරෝධය පළ කරමින් රාජාංගණය ඒකාබද්ධ ගොවි සංවිධානය ඊයේ දහවල් විරෝධතාවක් ආරම්භ කළේ තඹුත්තේගම – කලාඔය පාලම අසළින්.
ගොවීන් දහසකට ආසන්න පිරිසක් පාදෙණිය – අනුරාධපුර මාර්ගය හරස් කර පැය 3 කට අධික කාලයක් විරෝධතාවයේ නිරතවීමෙන් අනතුරුව තඹුත්තේගම පොලිස් හන්දිය අසළට පැමිණ උද්ඝෝෂණයේ නිරතවුණා.
මහජනතාවට පීඩා ඇතිවන අයුරින් විරෝධතා පැවැත්වීම තහනම් කරමින් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගය මෙහිදී පොලිස් නිලධාරීන් රාජාංගණය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිවරයාට භාරදී තිබෙනවා.
එහෙත් තවදුරටත් විරෝධතාවයේ නිරතවූ පිරිස වෙත පැමිණි පොලිස් නිලධාරීන් සහ තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම්වරිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත නොවන ලෙසට උද්ඝෝෂකයින්ගෙන් යළිත් ඉල්ලා සිටි නමුත් ඔවුන් ඊට විරෝධය දක්වමින් කළහකාරී ලෙස හැසිරීමට පටන් ගත්තා.
මේ නිසා පොලීසිය ජල ප්‍රහාරයක් එල්ල කර උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට පියවර ගත් අතර, එහිදී විරෝධතාකරුවන් පොලිස් නිලධාරීන්ට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග යළිත් පිරිස විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
සිද්ධියෙන් පොලීසියේ පස්දෙනෙකු සහ විරෝධතාකරුවන් පස්දෙනෙකු තුවාල ලබා තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කෙරුණා.
මේ වනවිට එක් පොලිස් නිලධාරියෙකු සහ විරෝධතාකරුවෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි එහි ප්‍රකාශකයෙකු හිිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.