ගොවිජනතාව නිහඬ විරෝධතාවයකට සැරසෙති…
තම වගාබිම්වලට ලැබෙන ජලය උපයෝගී කරගෙන කුඹුරු අක්කර 2000කට ජලය අහිමි කරමින් ආණ්ඩුව සිදු කිරීමට සූදානම් වූ පානීය ජල ව්‍යාපෘතියට එරෙහිව පැවති විරෝධතාවයට පහරදීමට සහ එම විරෝධතාවය අතර තුර අත්අඩංගුවට ගත් ගොවියන් නිදහස් කරන ලෙස ආණ්ඩුවට බලකමින් පැවැත්වෙන නිහඬ විරෝධතාවයක් ලබන 05වනදා තඹුත්තේගමදී පැවැත්වීමට සූදානම් කර ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සඳහන් කර සිටියේ එදිනට නිහඬ විරෝධතාවයක් සංවිධානය කර ඇති බවයි.
එම විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් ගොවීන් සම්බන්ධයෙන් පොලිසිය ගොනු කළ නඩුව එදිනට කැඳවීමට නියමිත අතර අත්අඩංගුවට ගත් ගොවීන්ද එදිනට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ලබන 05වනදාට මෙම ගොවිජනතාව නිදහස් කිරිමට ආණ්ඩුව කටයුතු නොකළහොත් රට පුරා ගොවිබිම්වල විවිධ වර්ගයේ විරෝධතා සංවිධානය කිරීමට කටයුතු කරන බවත් නාමල් කරුනාරත්න මහතා සඳහන් කළේ ය.