Gossips

ගෙවුණු පැය 24 දී අනතුරුවලින් 6ක් මරුට

ගෙවුණු පැය 24 තුල දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ අනතුරු වලින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් තවත් 08 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙම අනතුරු වලින් වැඩි සංඛ්‍යාවක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව සිදුව ඇති ඒවා බවයි පොලිසිය සඳහන් කළේ.
මැදවච්චිය – කැබිතිගොල්ලෑව මාර්ගයේ තම්මැන්නාව ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී ඊයේ පස්වරුවේ සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම අනතුරින් තවත් කාන්තාවක් සහ ළමයින් දෙදෙනෙකු තුවාල ලබා මැදවච්චිය රෝහලට ඇතුළත් කර ඇති බවයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 36ක් සහ 50ක් වයසැති එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවන් දෙදෙනෙක්. මොවුන් අලූත් අවුරුද්ද සඳහා භාණ්ඩ රැගෙන ආපසු එමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.
එමෙන්ම හලාවත – පුත්තලම ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ අද අලූයම සිදුවූ තවත් අනතුරකින් කාන්තාවක් මිය ගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මොවුන් අතර කුඩා දරුවෙකු ද වන අතර වෑන් රථයක් සහ බවුසර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර කොළඹ – කුරුණෑගල මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ ත්‍රිරෝද රථයක ගැටී ඊයේ සිදුවූ තවත් අනතුරකින් 19 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත් වී තිබුණා.
එමෙන්ම හලාවත – පුත්තලම මාර්ගයේ අයියනායක දේවාලය අසළ ඊයේ පස්වරුවේදී අවුරුදු 22ක් වයසැති තරුණයෙකු ද ජීවිතක්ෂයට පත්වුණේ වේගය පාලනය කරගත නොහැකිවයි.
ඊට අමතරව මාතර – තංගල්ල ප්‍රධාන මාර්ගයේ දොඩම්පහළ ප්‍රදේශයේදී සිදුවූ තවත් අනතුරකින් යතුරුපැදිකරු මිය ගොස් පසුපැදිකරු තුවාල ලබා දික්වැල්ල රෝහලට ඇතුළත් කරනු ලැබුවා.