Gossips

ගෙවල් බිඳුම් සහ කොල්ලකෑම්වලට සම්බන්ධ සැකකරුවෙකු කටුකුරුන්දේදී අත්අඩංගුවට

ගෙවල් බිඳ දේපළ සොරකම් කළ පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 20 කට අධික දේපළ සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද අලුයම කලුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය සිදුකළ වැටලීමකදීයි සැකකරු අත්අඩංගුවට පත්වී ඇත්තේ.
ඔහු අලුත්ගම සහ කලුතර දකුණ පොලිස් වසම්වල ගෙවල් බිඳුම් ගණනාවක් සිදුකළ අයෙක් වන අතර ඔහු සතුව තිබී රුපියල් ලක්ෂ 20 කට අධික දේපළ සොයාගෙන තිබෙනවා.
ජපනා යන අන්වර්ථ නාමයකින් හඳුන්වන 31 හැවිරිදි සැකකරු ගිංතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
එම පුද්ගලයා සතුව තිබී රන් පවුම් 14 ක්, විවිධ වර්ගයේ මැණික් ගල් 15 ක් සහ ජංගම දුරකථන 4 ක් සොයාගෙන තිබෙනවා.
රන් පවුම් හෙට්ටිවීදිය ප්‍රදේශයේ වෙළඳසැල් වෙත උකස්කර තිබියදී සොයාගෙන ඇති අතර මැණික් ගල් පුත්තලම ප්‍රදේශයේ නිවසක සගවා තිබියදී සොයාගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.
සැකකරු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වුවෙක් වන අතර ඔහුට විරුද්ධව මාතර සහ ගාල්ල අධිකරණවල ගෙවල් බිඳුම් සිද්ධීන්වලට අදාළ නඩු 21 ක් විභාග වෙමින් පවතින බවට අනාවරණ වී තිබෙනවා.
එමෙන්ම පසුගිය වසරේදී කේරළ ගංජා කිලෝ 15 ක් ළග තබාගැනීම සම්බන්ධයෙන් පුත්තලම මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අතර මෙම පුද්ගලයා මීට පෙර වසර එක හමාරක් සිර දඩුවම් ලබා සිටි අයෙක් බව ද සඳහන්.
සොරකම් කිරීමෙන් පසු පදිංචි ප්‍රදේශය මගහැර වැඩි වශයෙන් කොළඹ සහ පුත්තලම යන ප්‍රදේශවල තාවකාලික ලැගුම්හල්වල නතර වී සිට ඇති බවට ද හෙළිවී තිබෙනවා.
සැකකරු වැඩිදුර විමර්ශණ සඳහා කලුතර දකුණ පොලිසියට ඉදිරිපත් කිරීමට නියමිතයි.