Gossips

ගුවන් නාශක අවි සඳහා යොදාගන්නා උණ්ඩයක් ඇතුලූ ආයුධ නිවසකින් හමුවෙයි

වැලිපැන්න – නිව්සිටිවත්ත ප්‍රදේශයේදී නිවසකින් ගුවන් යානා නාශක අවි සඳහා යොදාගන්නා උණ්ඩයක් ඇතුලූ අවිආයුධ සොයාගෙන තිබෙනවා.
කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සඳහන් කළේ ඊයේ සිදුකළ වැටලීමකදී ගුවන් යානා නාශක අවි සඳහා යොදාගන්නා උණ්ඩයට අමතරව ඇමරිකාවේ නිෂ්පාදිත ගිනි අවියක්, ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, බෝර 12 ගිනි අවියක් සහ එම උණ්ඩ 10 ක්සොයාගෙන ඇති බවයි.
මෙහිදී සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. මින් එක් සැකකරුවෙකුට එරෙහිව මනුෂ්‍ය ඝාතන චෝදනාවක්ද එල්ලවී ඇති අතර, එම වරදට කළුතර මහාධිකරණයේ නඩුවක්ද විභාගවෙමින් පවතින බව සඳහන්.
මේ අතර ඇල්පිටිය – තලාව ප්‍රදේශයේදී ටී 56 ගිනි අවි සඳහා යොදන පතොරම් 9 ක් සහ එස්.එල්.ආර්. අවි සඳහා යොදාගන්නා පතොරමක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදනය කිරීමට යොදාගන්නේ යැයි සැක කෙරෙන රිවෝල්වර සඳහා සවිකරනු ලබන සිලින්ඩර කොටසක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.