Gossips

ගුවන් තොටුපල වර්ජනය අවසන්

රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ඉල්ලා ගුවන් තොටුපල සේවකයින් ආරම්භ කළ වර්ජනය අද පස්වරුවේ තාවකාලිකව අවසන් කෙරුණා.
ඒ, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ වෘත්තිය සමිති අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
කටුනායක – බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සේවකයින් සහ පාලනාධිකාරිය සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡා අසාර්ථක වීමත් සමගයි වර්ජනය ආරම්භ කෙරුණේ.
සේවක විරෝධතාවත් සමගම එම පරිශ්‍රයේ ඇතිවුණේ උණුසුම් තත්ත්වයක්.
පසුව ඔවුන් ගුවන් තොටුපල ප්‍රවේශ මාර්ගයද අවහිර කළ අතර, වර්ජනයට මත්තල සහ රත්මලාන ගුවන් තොටුපල සේවකයන්ද සහය පළ කළා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා කියා සිටියේ සේවක වර්ජනය හේතුවෙන් ගුවන් ගමන්වල ද සුළු ප්‍රමාදයක් සිදුවූ බවයි.
එසේම ගුවන් තොටුපලට පැමිණි මගීන්ද එම කාලය අතරතුර දැඩි අපහසුතාවකට පත්ව තිබෙනවා.