Gossips

ගුරු – විදුහල්පති වර්ජනයෙන් පාසල් කටයුතුවලට බාධා

ගුරු විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති රැසක් එක්ව ක්‍රියාත්මක කර ඇති වර්ජනය හේතුවෙන් දිවයිනේ බොහෝ පාසල්වල අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.
දේශපාලන පලි ගැනීම් මුවාවෙන් අධ්‍යාපන සේවාවන් හි සිදුකරන පත්වීම් නතර කරන ලෙස බලකරමිනුයි අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව මෙම වර්ජනය ආරම්භ කළේ.
මේ අතර, වර්ජනයේ නිරත වෘත්තීය සමිති සහ නව පත්වීම් ලබා ගත් පිරිස් අතර අද (04) අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා.
දිවයිනේ බොහෝ පාසල්වල ළමයින් පාසල් වෙත පැමිණියත්, ගුරුවරුන් වැඩි වශයෙන් පාසල්වලට නොපැමිණි බවයි වාර්තා වන්නේ.
කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් රැසක ළමයින් පාසල් වෙත පැමිණ තිබුණත් ගුරුවරුන්ගේ අඩුවක් දක්නට ලැබෙන බව එම පාසල්වල විදුහල්පතිවරුන් කියා සිටියා.
උතුරු පළාතේ ද පාසල් රැසක අධ්‍යාපන කටයුතුවලට මෙම වර්ජනයෙන් බාධා එල්ල වී තිබෙනවා.
දකුණු පළාතේ ද පාසල් රැසක අධ්‍යයන කටයුතුවලට වැඩවර්ජනයෙන් බාධා එල්ල වී තිබෙනවා.
එහෙත් මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසල්වල අධ්‍යාපන කටයුතු සිදුකෙරෙන බවයි හිරු මාතර වාර්තාකරු ජයාවික්‍රම සුරේන්ද්‍ර සඳහන් කළේ.
වර්ජනය හේතුවෙන් උතුරුමැද පළාතේ ද අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.
කෙසේ වෙතත්, වතුකරයේ පාසල් වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවත්, වතුකරයේ සිටින ගුරු වෘත්තීය සමිති මෙම වර්ජනයට සහය දක්වා නොමැති බවයි හිරු හැටන් වාර්තාකරු රංජිත් රාජපක්ෂ සඳහන් කළේ.
මේ අතර, ගනේමුල්ල – වැලිපිල්ලෑව ජයකොඩි මහා විද්‍යාලයේ ගේට්ටුව ඉබි යතුරු දමා වසා දැමීම හේතුවෙන් අද එම පාසලට පැමිණි ගුරුවන් සහ පාසල් සිසුන් යළි නිවෙස් කරා යළි ගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමයේ සභාපති එල්.මල්ෂාන් ද සිල්වා කියා සිටියේ සුපුරුදු පරිදි අද දිනයේද සිසුන් සිය සංගමයේ සාමාජිකයින් විසින් පාසල් වෙත රැගෙන ගිය බවයි.
වර්ජනය ක්‍රියාත්මක කරන අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව මේ වනවිට බත්තරමුල්ලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වනවා.
ඔවුන් බුද්ධදාස ක්‍රීඩාංගනයේ සිට එම ස්ථානයට පැමිණියේ පාගමනින්.
එහි රැදී සිටි පත්වීම් ලබා ගත් පිරිසක් ඔවුන්ට විරෝධය පළ කිරීමත් සමඟ එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
කෙසේ වෙතත්, පොලීස් කැරලි මර්දන ඒකකයේ නිලධාරින් මැදිහත්ව ඇති වීමට ගිය ගැටුම පාලනය කළ අතර මේ වනවිට වර්ජනයේ නිරත වන වෘත්තීය සමිති නියෝජිතයින් සහ නව පත්වීම් ලබා ගත් පිරිස මාර්ගයේ දෙපසට වී විරෝධතාවයේ නිරත වනවා.
එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ උද්ඝෝෂණය හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටින් දිවෙන මාර්ගයේ වාහන ධාවනයට ද බාධා එල්ල වී ඇති බවයි.
ගුරු ඇතුළු අධ්‍යාපන වෘත්තිය සමිති දියත් කර ඇති වර්ජනය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගෙන් ද කරුණු විමසුවා.
අමාත්‍යවරයා එහිදී කියා සිටියේ වර්ජනයෙන් පාසල් වැඩකටයුතු වලට කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවයි.