Gossips

ගුරු – විදුහල්පති ලෙඩ නිවාඩුවෙන් – පාසල් කටයුතු අඩාලයි

ගුරු – විදුහල්පති ගැටළු විසදා ගැනීමට වෘත්තීය සමිති 30ක් එක්ව අද ආරම්භ කළ ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය කි්‍රයාමාර්ගය හේතුවෙන් පාසල් රැසක අධ්‍යයන කටයුතු අඩාල වී තිබෙනවා.
දිවයින පුරා පාසල් රැසක ගුරුවරුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ.
එමෙන්ම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සැලවීමෙන් පසු දෙමාපියන් සිය දරුවන් පාසල්වලට එවීමේ අඩුවක් දක්නට ලැබුණු අතර ඇතැම් පාසල්වල අධ්‍යයන කටයුතු සිදු නොවුණ බැවින් පැමිණි සිසුන් ද හරවා යවා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, උතුරු පළාතේ දෙමළ පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරුවන් කියා සිටියේ.
උතුරු පළාතේ සිංහල පාසල්වල අධ්‍යයන කටයුතුවලට බලපෑමක් එල්ල වී තිබුණ ද, දෙමළ පාසල්වල ගුරුවරුන්ගේ පැමිණීම සාමාන්‍ය පරිදි සිදුවූ බවයි වවුනියාව හිරු වාර්තාකරු දිනසේන රතුගමගේ සඳහන් කළේ.
කොළඹ නගරයේ පාසල් රැසකම අද දිනයේදී ළමයින්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණා.
එමෙන්ම, මාතර නගරයෙන් පිටත පාසල් රැසකම ගුරුවරුන් සහ ළමයින් පාසල් වෙත පැමිණ තිබුණේ නැහැ.
කෙසේ වෙතත්, මාතර හිරු වාර්තාකරු ජයාවික්‍රම සුරේන්ද්‍ර සඳහන් කළේ නගරයේ සියලු පාසල්වල වැඩකටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි.
මේ අතර, වර්ජනය හේතුවෙන් වතුරකයේ සියලූ පාසල්වල කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි හැටන් හිරු වාර්තාකරු රංජිත් රාජපක්ෂ සඳහන් කළේ.
එමෙන්ම, උතුරුමැද පළාතේ ද පාසල් රැසක අධ්‍යයන කටයුතුවලට වර්ජනය හේතුවෙන් බාධා එල්ල වී තිඛෙනවා.
මෙම වර්ජනයට එක්ව සිටින වෘත්තීය සමිතියක් වන ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේ වර්ජනය හේතුවෙන් සිසුන්ට සහ දෙමාපියන්ට සිදුවූ අපහසුතා සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බවයි.
මේ අතර, ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් මේ වනවිට කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවක නිරත වනවා.
කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දඩමීමා කරගෙන වෘත්තීය සංගම් මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇති බවයි.
එමෙන්ම, ඉදිරියේදී අදාළ වැටුප් විෂමතා ඉවත් කිරීමට ද රජය පියවර ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මේ අතර, වැටුප් සහ බඳවා ගැනීමේ පටිපාටියේ ගැටළු පවතින බව පවසමින් තැපැල් සේවකයන් පිරිසක් අද මධ්‍යම රාත්‍රියේ සිට එක්දින සංකේත වර්ජනයක නිරත වනවා.
කෙසේ වෙතත්, විෂය භාර අමාත්‍ය අබ්දුල් හලීම් සඳහන් කළේ ඉදිරියේදී මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර මෙම ගැටලූවට විසඳුම් ලබාදෙන බවයි.