Gossips

ගුරු වර්ජනය ගැන අධ්‍යාපන ඇමති විමසිල්ලෙන්

පසුගිය 04 වන දා පැවති ගුරු – විදුහල්පති වැඩ වර්ජනයේදී ආයතන සංග්‍රහය උල්ලංගණය කරමින් කටයුතු කර ඇත්නම්, ඊට අදාළව විමර්ශන සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
වැඩ වර්ජනය දින තම රාජකාරී බලය අවභාවිතා කරමින් පාසල් වැසීමට වර්ජනයේ නිරත වෘත්තීය සමිති නියෝග දුන් බවට පාර්ශව කිහිපයකින් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් මේ පිළිබදව සොයා බලන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ.
එසේම පාසල් වසා දමා කඩා කප්පල්කාරී ලෙස හැසිරීමට හෝ අධ්‍යාපන අයිතීන් උදුරා ගැනීමට කිසිදු කණ්ඩායමකට ඉඩ නොතබන බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා.
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අනුව ලෙඩ නිවාඩු දැමීමට හැකි වුවත්, පාසල් වසා දැමීම සම්බන්ධයෙන් පරිපාලන නියෝග දැමීමේ කිසිදු සදාචාරාත්මක හෝ වෘත්තීමය හැකියාවක් වෘත්තීය සමිතිවලට නොමැති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙනවා.