Gossips

ගිවිසුමට එරෙහිව වතු කම්කරුවන් අදත් වීථි බසී – බදුල්ලේ සත්‍යග්‍රහයක් (ඡායාරූප)

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාල නව අවබෝධතා ගිවිසුම අත්සන් කළ ඊයේ (28) සහ අද (29) දිනයේත් ඊට එරෙහිව වතුකරයේ මෙන්ම දිවයිනේ ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ පැවැත්වුණා.
වතු කම්කරුවන් චෝදනා කරන්නේ තමන් ඉල්ලූ රුපියල් දහසේ වැටුප් වැඩිවීම නව ගිවිසුමෙන් ලැබී නොමැති බවටයි.
ඊයේ (28) අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අනුව වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 700ක් ලෙස ඉහළ නැංවෙන අතර, ඊට අමතරව තේ මිල අනුව රුපියල් 50ක මුදලක් සහ අමතර තේ දළු කිලෝවකට රුපියල් 40ක මුදලක් ද වතු කම්කරුවන්ට හිමිවනු ඇති.
මීට අමතරව වතු කම්කරුවන්ගේ මාස 3ක හිඟ වැටුප් ගෙවීමට ද, වසර දෙකකට බල පැවැත්වෙන පරිදි අත්සන් තබා ඇති නව අවබෝධතා ගිවිසුම මඟින් එකඟ වී තිබෙනවා.
කෙසේ වෙතත්, නව ගිවිසුමට අනුව වැටුප් වැඩිවී ඇත්තේ රුපියල් 10ත් 50ත් අතර මුදලකින් බවයි කම්කරු අරගල මධ්‍යස්ථානය සහ වතු කම්කරුවන් ප්‍රකාශ කළේ.
මෙම තත්ත්වයට විරෝධය පළ කරමින් හැටන් සහ බගවන්තලාව යන ප්‍රදේශවල වතු කම්කරුවන් අද (29) පෙරවරුවේ උද්ඝෝෂණවල නිරත වුණා.
බගවන්තලාව – කොටියාගල වතු යායේ කම්කරුවන් අද උදෑසන කළු කොඩි අතැතිව බගවන්තලාව නගරයට විරෝධතා පා ගමනින් පැමිණ විරෝධතාවයේ නිරත වූ බවයි එහි සිටින අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
විරෝධතාකරුවන් ගිවිසුමට අත්සන් තැබූ දේශපාලඥයන් සහ වතු සමාගම්වල නිලධාරීන්ගේ අනුරූ මාර්ගයේ තබා පුළුස්සා තිබෙනවා.
මීට අමතරව හැටන් ප්‍රදේශයේ වතු කිහිපයක ද විරෝධතා පැවති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
එමෙන්ම බදුල්ල නගර මධ්‍යයේ වතු කම්කරුවන්ගේ ගැටළුවලට විසදුම් ඉල්ලා ඊයේ ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මකයි.
සත්‍යග්‍රහය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ද එක්ව සිටියා.
මේ අතර බදුල්ල – ඇටම්පිටිය ප්‍රදේශයේ ද ඊයේ විරෝධතා පැවැත්වුණා.

ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ