Gossips

ගිරාඹේ ආනන්ද අනුනායක හිමියන් දැයෙන් සමුගනී

අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ සිදුකෙරුණා.
ඒ අනුරාධපුර – වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතවයි.
පසුගිය 20 දා අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපුජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ ශ්‍රී දේශයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අනුරාධපුර ශ්‍රී සරානන්ද පිරිවෙණේදී සිය අවසන් ගෞරව දක්වනු ලැබුවා.
අනතුරුව අද දහවල් ආනන්ද අනුනාහිමියන්ගේ ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර ආදාහන පූජෝත්සවය පැවැත්වෙන අනුරාධපුර හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය කරා විශේෂ රිය පෙරහැරකින් රැගෙන ආවා.
රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වුණු ආදාහන පූජ්‍යෝත්සවය සඳහා සර්ව ආගමික පූජකවරුන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද එක්ව සිටියා.
එහිදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක නාපානේ ප්‍රේමසිරි මහානාහිමියන් අනුශාසනාවක් පවත්වනු ලැබුවා.
අනතුරුව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද අවමංගල්‍යය සභාව ආමන්ත්‍රණය කරමින් කියා සිටියේ උන්වහන්සේ සුවිශේෂී මෙහෙවරක් සිදුකළ බවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ශෝක පණිවුඩය මෙහිදී අවමංගල්‍ය සභාවට ඉදිරිපත් කරනු ලැබුවේ අමාත්‍ය පී. හැරිසන් විසින්.
අනතුරුව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපුජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ගේ ශ්‍රී දේහය චිතකය කරා වැඩම කරවා චිතකයට ගිනි දැල්වීම සිදුකෙරුණා.
1946 වර්ෂයේදී පැවිදි දිවියට ඇතුළත් වූ පූජ්‍ය ගිරාඹේ ආනන්ද අනුනාහිමියන් වසර 72 කට අධික කාලයක් ශාසනික සේවයේ නිරත වූ අතර පේරාදෙණිය සහ අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන්වල විහාරධිපති හිමියන් ලෙස කටයුතු කර තිබුණේ ද උන්වහන්සේයි.