Gossips

ගිනි අවි, කඩු – මිටි සමඟ කල්ලියක් මහනුවර දී අල්ලයි

කළුතර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසක් කොල්ලකෑමකට පැමිණි, පානදුර කොට්ඨාශ වැටලීම් ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව අද අලූයම ඔවුන් මෙම මෙහෙයුම සිදුකර ඇති අතර, එම අවස්ථාවේදී සැකකරුවන් සතුව ගිනි අවි ද තිබූ බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සෙසු දෙදෙනා පාතාල කල්ලි සාමාජිකයින් වන බවට දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් රාජකාරියට පිටව යන බවට පොලිස් පොතේ සටහන් තබා පිටව ගොස් ඇති සඳහන්. කොල්ලකෑම සඳහා ඔවුන් පැමිණි මෝටර් රථය සහ වෑන් රථය ද පොලිස් භාරයට ගනු ලැබුවා.
මේ අතර, මහනුවර – බහිරවකන්ද ප්‍රදේශයේ නගරයට ආසන්නයේ නිවසක රැදී සිටියදී ගිනි අවි සහ මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහනුවර පොලීසියට ලද තොරතුරකට අනුවයි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඒ අනුව වැටලීමේදී පිස්තෝලයක්, රිවෝල්වරයක්, රිපීටරයක්, කඩු 4ක්, යකඩ මිටියක් ද පොලීසිය සොයා ගත් අතර, ගංජා ග්‍රෑම් 8ක් ද අත්අඩංගුවට ගෙන තිබුණා.
එලෙස සොයා ගත් එක් ගිනි අවියක් සම්බන්ධයෙන් පොලීසිය විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා. වැටලීම සිදුකරන අවස්ථාවේදී නිවසේ හිමිකරු සහ ඔහුගේ පුත්‍රයා එම ස්ථානයෙන් පළා ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අදාළ නිවස තුළ දිනපතා පුද්ගලයින් 30කට ආසන්න ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය පානය කිරී සඳහා පැමිණෙන බවටයි පොලීසිය සඳහන් කළේ.
කෙසේ වෙතත්, මෙලෙස අවි ආයුධ ළඟ තබා ගත්තේ කිසියම් ප්‍රහාරයකට ද යන්න පිළිබදව පොලීසිය විමර්ශන සිදුකරනු ලබනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනා අද මහනුවර අධිකරණයට ඉදිරිපත් කරන බවයි මහනුවර පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.