Gossips

ගිනිගත් ‘නොට්රඩාම්’ දෙව් මැදුර යළි තැනීමට ප්‍රංශ ජනපතිගෙන් ප්‍රතිඥා

ප්‍රංශයේ පැරිස් අගනුවර සේන් නදිය අසබඩ පිහිටි ඵෙතිහාසික ‘‘නොට්රඩාම්’’ දෙව් මැදුරු ගොඩනැගිල්ලේ ඇති වූ ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා.
වසර 850 ක් පැරණි මධ්‍යතන යුගයට අයත් ගොතික් සම්ප්‍රදායේ විශිෂ්ඨ නිර්මාණයක් වන මෙම දෙව් මැදුරේ ප්‍රධාන ගොඩනැගිල්ල සහ සේප්පුවේ තිබූ ඉපැරණි කටු ඔටුන්න ඇතුළු පුරාවස්තු ආරක්ෂා කර ගැනීමට හැකි වූ බවයි ප්‍රංශ බලධාරීන් ප්‍රකාශ කළේ.
කිතුණුවන්ගේ ශුද්ධ වූ සතිය තුළ සිදුවූ මෙම ඛේදවාචකයෙන් පැරිස් පුර වාසීන් දැඩි කම්පනයට පත්ව සිටින අතර, ගොඩනැගිල්ලේ විනාශ වූ කොටස් යළි ඒ ආකාරයෙන්ම ගොඩනගන බවට ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් ප්‍රතිඥාවක්ද ලබාදුන්නා.
කෙසේ නමුත්, මිලියන සංඛ්‍යාත දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනයට ලක්වූ යුනෙස්කෝ ලෝක උරුමයක් වන ‘‘නොට්රඩාම්’’ හි දැවමය කැටයම්වලින් අලංකාර වූ ඉහලට නැගුණු කොත ගින්නෙන් කඩා වැටුණු අතර, එහි වහලයද විනාශ වී ඇත්තේ යළි ප්‍රතිසංස්කරණය කළ නොහැකි ලෙසින්.
දෙව් මැදුරු ගොඩනැගිල්ලේ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය නොවූවද එහි ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රතිසංස්කරණ කටයුතු නවතා සේවකයන් ඊයේ සන්ධ්‍යාවේ නික්මීමෙන් අනතුරුවයි ගින්න හටගෙන ඇත්තේ.