Gossips

ගිනිකෙළි නිෂ්පාදන අලෙවියේ අඩුවක්

මෙවර උත්සව සමයේ තම නිෂ්පාදන අලෙවියේ අඩුවක් දක්නට ලැබෙන බව සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදන හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති දිනේෂ් ප්‍රනාන්දු කියා සිටියේ පසුගිය උත්සව සමයට සාපේක්ෂව මෙවර උත්සව සමයේ දී සියයට 50කින් තම නිෂ්පාදන අලෙවිය අඩු වී ඇති බවයි.
මේ අතර, උත්සව සමයේදී මහජනතාවට සිය ගම්බිම් බලා යාම සඳහා විශේෂ ප්‍රවාහන පහසුකම් ද සපයා තිබෙනවා.
හිරු ප්‍රවෘත්ති අංශය ඒ පිළිබදව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරිගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අතිරේක බස් රථ 75ක් මේ වන විට යොදවා ඇති බවයි.
දුම්රිය දෙපාර්තමේන්තුව ද උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය දෙකක් යොදවා තිබෙනවා.
කොළඹ කොටුවෙන් පෙරවරු 7.30ට බදුල්ල බලා ධාවනය වන දුම්රියක් සහ පෙරවරු 11ට මහනුවර බලා ධාවනය වන දුම්රියක් මෙලෙස යොදවා ඇති බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ කියා සිටියේ.
මේ අතර, දීර්ඝ නිවාඩු සමයේ මහජනතාව ගම්බිම් බලා යාම සහ විනෝද චාරිකාවල නිරතවීම හේතුවෙන් මේ වන විට කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.
නිට්ටඹුව, වරකාපොළ සහ කෑගල්ල යන නගරවල සහ තදාසන්න ප්‍රදේශවල එම රථ වාහන තදබදය හටගෙන ඇති අතර, විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.
එසේම දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම පිවිසුමේ දොරටුව සහ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩවත පිටවීමේ දොරටුව අසළ අද පෙරවරුවේ රථ වාහන තදබදයක් හට ගත්තා.
උත්සව සමය හේතුවෙන් මහජනතාව ගම්බිම් බලා යාම හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන තිබූ අතර අද දිනය තුළ මේ දක්වා රථ වාහන 80,000කට වැඩි ප්‍රමාණයක් අධිවේගී මාර්ගය භාවිතා කර ඇති බවයි අධිවේගී මාර්ග නඩත්තු හා සැලසුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.