Gossips

ගෑස් 195 කින් නගී – කිරිපිටි මිල පහළට

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195 කින් ඉහළ දැමීමටත්, කිරිපිටි කිලෝග්‍රෑම් 1 ක මිල රුපියල් 25 කින් පහළ දැමීමටත් ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ මිල ගණන්වල වෙනස්වීම් ක්‍රියාත්මක වන දිනයක් තවමත් තීරණය කර නොමැති බවයි ජීවන වියදම් කමිටුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම සහ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සීග්‍රයෙන් අවප්‍රමාණයවීම සැළකිල්ලට ගනිමින් ගෑස් මිල රුපියල් 323 කින් වැඩි කරන ලෙස ගෑස් සමාගම් ජීවන වියදම් කමිටුව වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා.
ඒ පිළිබඳව අද රැස්වූ කැබිනට් මණ්ඩලය තුළද සාකච්ඡා වී ඇති අතර, මිල සංශෝධනයන් පිළිබඳව තීරණයක් ගැනීම සඳහා ජීවන වියදම් කමිටුවට බලය පැවරීමටයි එහිදී තීරණය කෙරුණේ.
ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195 කින් ඉහළ දැමීමට අද පස්වරුවේ රැස්වූ ජීවන වියදම් කමිටුව තීරණය කළා.
එමෙන්ම ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 25කින් පහළ දැමීමටද ජීවන වියදම් කමිටුව තීරණය කර තිබෙනවා.
මේ අතර තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5 කින් ඉහළ දැමූ නිෂ්පාදන ආයතනවලට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ විධිවිධාන ප්‍රකාරව නීතිමය පියවර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව එම අධිකාරිය ප්‍රකාශ කළා.
එමෙන්ම තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් සඳහා නියම කර ඇති උපරිම සිල්ලර මිල වන රුපියල් 87 ඉක්මවා පිටි අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිවද වැටලීම් සිදුකර නීතිමය පියවර ගන්නා බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.