Gossips

ගැසට් පත්‍රයට අනුව කටයුතු කරන බව, පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය කියයි

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ නිලධාරීන්ට කටයුතු කිරීමට සිදුවන්නේ ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව බව එහි නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එළඹෙන 14 වන දා රැස්වීමට නියමිත පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සම්බන්්ධයෙන් තවමත් උපදෙස් ලැබී නොමැති බවයි.
මේ අතර, පාර්ලිමේන්තුවේ ප්‍රධාන වේත්‍රධාරීවරයා ද සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව කටයුතු කිරීමට සිදුවනු ඇති බවටයි.
16 වන දාට කල් තැබුණු පාර්ලිමේන්තුව 14 වන දා කැදවන බව ජනාධිපතිවරයා පසුගිය දා ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කළා.
14 වන දාට රැස්වන පාර්ලිමේන්තුවේ, සිදුවිය යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහාචාර්ය, නීිතිඥ ප්‍රතිභා මහානාමහේවා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භයේදී බහුතරය පෙන්වීම අවශ්‍ය නොවන බවයි.
එමෙන්ම මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය, සභානායක දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ නැති ආණ්ඩුවක් සහ නැති අගමැතිවරයෙකු ගැන කථානායකවරයා විසින් ප්‍රකාශ සිදුකිරීමේ ඵලක් නොමැති බවයි.
එසේම ජාතික ආණ්ඩුව මේ වන විට ක්‍රියාත්මක නොවන බැවින් එහි ඇමති මණ්ඩලය මෙන්ම අගමැතිවරයා ද වලංගු නොවන බව ඔහු කියා සිටියා.