Gossips

ගැබිණි ගුරුවරියන්ගේ ඇඳුමට බාධා එපා

ගැබිණි ගුරුවරියන්ට නිර්දේශ කළ ඇඳුමට විරුද්ධව කටයුතු කරන විදුහල්පතිවරුන් සිටිත් නම් ඔවුන් පිළිබදව විශේෂ සොයා බැලීමක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
ගර්භනී ගුරුවරියන්ට වඩාත් පහසු සහ උචිත ඇඳුමක් හඳුන්වාදීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත්තේ.
එම ගුරුවරියන්ට ලබාදෙන ඇඳුම පිළිබදව පසුගිය වසරේ විශේෂ චක්‍රලේඛයක් මගින් ද අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණා.
කෙසේ වෙතත්, ඇතැම් විදුහල්පතිවරුන් ගර්භනී ගුරුවරියන් එම නිර්දේශිත ඇඳුමෙන් පාසලට පැමිණීමට බාධා එල්ල කර ඇති බවටයි අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇත්තේ.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අදාළ ගුරුවරියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඇඳුමට විරෝධය පළ කරන විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදුකරන ලෙසටයි.
ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1988 වෙත දැනුම් දීමේ හැකියාව ද පවතිනවා.
මේ අතර, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශෆ් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ගර්භනී ගුරුවරියන්ට නිර්දේශ කර ඇඳුම නිශ්චිත වශයෙන් ක්‍රියාවට නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බවයි.